වාර්ෂික නල්ලූර් කන්දස්වාමි කෝවිල් උත්සවය සහ මඩු මංගල්‍යය ඉලක්ක කරගනිමින් උතුරු පළාතේ දුම්රිය සේවා කපා හැර ඇති බවට එල්ල වූ විවේචන හමුවේ, බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා රැසක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (11) අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ උත්සව සමය තුළ බැතිමතුන්ට බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා දැනටමත් නිර්දේශ ලබා දී ඇති බවයි.
නල්ලූර් කෝවිල, මඩු දේවස්ථානය සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැනි සිද්ධස්ථාන සියලුම ආගම්වල ජනතාව ගරු කරන පූජනීය ස්ථාන බවත්, එම ස්ථාන කරා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම රජයේ වගකීමක් බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම උතුරු දුම්රිය මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇති බැවින්, දුම්රියවලට පැයට කිලෝමීටර 100ත් 110ත් අතර ඉහළ වේගයකින් ධාවනය වීමේ හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පැවසීය. දුම්රිය සේවාවේ පවතින සුළු අඩුපාඩු මඟහරවා ගනිමින් ඉදිරි උත්සව සමයේදී ජනතාවට ආරක්ෂිත සහ අඛණ්ඩ ප්‍රවාහන සේවාවක් සපයන බවට ඔහු සහතික විය.
















