27 April 2024
#දේශීය

වටිනා දේශපාලනයට නිගරු කරන්න එපා – හිටපු ඇමැති දුමින්ද

යහපාලනයෙන් ඇති වෙච්ච හොඳම දේ තමයි අද අපිට ගමේ පක්ෂ භේදයක් නැතිව, හිතන්න, වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් උදා වෙලා තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිඹිරිවැව ගම්මානයේ ඉදි කල තිඹිරිවැව පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

දුමින්ද දිසානායක මහතා වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යයවරයාව සිටියදී ලබා දුන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදල් ප්‍රථිපාදනයකින් මෙම ජල ව්‍යාපෘතියේ වැඩ අවසන් කර තිබිණී. මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 250 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව පවති.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ” ඉදිරියේදී මැතිවරණ කීපයක් එනවා, ඒ ජන්ද වලට මුහුණ දෙනකොට දේශපාලනයේ ඉන්න ඕන නැති කට්ටිය දේශපාලනයේ ඉදීම තුළ අද දේශපාලඥයාටත් තියෙන වටිනාකම නැති වෙලා තියෙනවා.ඒ නිසා දෙයියනේ කියලා ලබන පාර මොන ජන්දය තිබ්බත් ඒ යවන තැනට ගැලපෙන මනුස්සයෙක් ඒ තැනට යවන්න ඕනකම තියෙනවා.ප්‍රාදේශීය සභාවට යවන්න ඕන මනුස්සයා ප්‍රාදේශීය සභාවට යවන්න ඕන, පළාත් සභාවට යවන්න ඕන මනුස්සයා පළාත් සභාවට යවන්න ඕන, පාර්ලිමේන්තුවට යවන්න ඕන මනුස්සයා පාර්ලිමේන්තුවට යවන්න.සමහර වෙලාවට ප්‍රාදේශීය සභාවට යවන්න ඕන මනුස්සයා පාර්ලිමේන්තුවට යැව්වම ලොකු අවුලක්.ඒ නිසා මේ ඉල්ලීම දේශපාලඥයෙක් විදිහට කරනවා, මොකද සමහර දේශපාලඥයන්ගේ හැසිරීම නිසා අද ජනතාවට, තරුණයින්ට දේශපාලනය එපා වෙලා.ඒ විතරක් නෙමෙයි දේශපාලනය පිළිකුල් කරන තත්වයට පත් වෙලා තියෙනවා. මේ රටට දේශපාලනය නැතිව බෑ, හැබැයි සමහර දේශපාලඥයෝ නිසා රටට දේශපාලනය එපා වුණොත් ලොකු අවුලක් ඒ නිසා ඒ නිවැරදි කිරීම සිදු කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.මේ වටිනා කියන දේශපාලනයට නිගරු කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා යැයි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රාදේශිය දේශපාන නියෝජිතයින් හා නොච්චියාගම ප්‍රාදේශිය ලේකම්තුමන් ඇතුලු නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියහ..

Leave a comment

Your email address will not be published. Required fields are marked *