දිවයින පුරා රෝහල් පද්ධතිය තුළ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හිඟය මේ වන විට ඉතා උග්‍ර අතට හැරී ඇති බවත්, එය රෝගී සත්කාරක සේවාවන් බිඳ වැටීමේ දැඩි අවදානමකට ලක් කර ඇති බවත් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ජාතික රෝහල්වල සිට ප්‍රාදේශීය සහ ග්‍රාමීය රෝහල් දක්වාම වෛද්‍යවරුන්ගේ හිඟය දැඩිව බලපා ඇති අතර, විශේෂයෙන්ම ග්‍රාමීය රෝහල්වල පැය 24 පුරාම සේවය සැපයීමට සිටින්නේ වෛද්‍යවරුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් බව සඳහන් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කරන බව පැවසුවද, ප්‍රායෝගිකව එය නිසි පරිදි සිදු නොවීම මත ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මොනරාගල, අනුරාධපුරය, පොළොන්නරුව, මඩකලපුව, යාපනය සහ ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්ක රැසක රෝහල්වල සේවා කටයුතු අඩාල වී ඇත. ඇතැම් ස්ථානවල අනුප්‍රාප්තික වෛද්‍යවරුන් සිටියදී පවා විවිධ බලපෑම් මත ඔවුන්ගේ ස්ථාන මාරු නතර කර තිබීම කනගාටුදායක තත්ත්වයක් බව වෘත්තීය සමිති නායකයින් පෙන්වා දෙයි.
මේ වසර තුළ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසක් සේවය අතහැර යාම, රට හැර යාම හෝ විශ්‍රාම යාම හේතුවෙන් ඉදිරියේදී නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වනු ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනතුරු අඟවයි. බෝවන සහ බෝ නොවන රෝග හේතුවෙන් රෝහල් ගතවන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම නිසා පවතින සීමිත සම්පත් දරාගත නොහැකි තත්ත්වයකට රෝහල් පද්ධතිය පත්ව ඇත. මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ නිදහස් සෞඛ්‍ය සේවාව කඩා වැටීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ බලධාරීන් වහාම මැදිහත් වී විසඳුම් ලබා දිය යුතු බව වෘත්තීය සමිති අවධාරණය කරයි.
















