පිළියන්දල, බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේදී පලායමින් සිටි සැකකරුවන් නැවැත්වීමට උත්සාහ කිරීමේදී පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙකුට පොලීසිය වෙඩි තබා තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරගම, වීදියගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. බොරලැස්ගමුව, ඕ.පී. පෙරේරා මාවතේ පිහිටි නිවසකට යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ සහිතව පැමිණි සිව්දෙනෙකු නිවැසියන්ට පහරදී නිවසට බරපතළ හානි සිදුකර පිළියන්දල දෙසට පලායන බවට ලද තොරතුරක් මත බොරලැස්ගමුව පොලීසිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
මාර්‌ග බාධක යොදා රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් දුටු සැකකරුවන් දෙදෙනෙකු ක්ෂණිකව යතුරුපැදිය හරවාගෙන පලායාමට උත්සාහ කර ඇති අතර, එහිදී යතුරුපැදිය නතර කිරීමට පොලීසිය දැඩි උත්සාහයක් ගෙන තිබේ. එම අවස්ථාවේදී යතුරුපැදියේ පසුපැදිකරු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ කොස්තාපල්වරයා සැකකරු ඉලක්ක කර වෙඩි තබා ඇත. වෙඩි ප්‍රහාරය සැකකරුගේ ඉණ ප්‍රදේශයට එල්ල වීමෙන් ඔහු බිම වැටී ඇති අතර පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත්තද යතුරුපැදි පදවන්නා එම ස්ථානයෙන් පලායෑමට සමත්ව තිබේ.
තියුණු ආයුධ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු සහ මුල් සිදුවීමේදී සැකකරුවන්ගේ පහරකෑමට ලක්වූ නිවැසි තරුණියක් මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) ප්‍රතිකාර ලබති. සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එල්ල කරන සන්නද්ධ ප්‍රහාර මැඩලීම සඳහා ආරක්ෂක අංශ දැඩි පියවර ගනිමින් සිටින බව පොලිස් වාර්‌තා පෙන්වා දෙයි. පලාගිය අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පිළියන්දල සහ බොරලැස්ගමුව පොලිස් ස්ථාන එක්ව පුළුල් විමර්ශන ක්‍රියාවට නංවා ඇත.
















