ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය බදාදා ඕමානයට එරෙහිව සිදුකළ තර්ජනයත් සමඟ, තම ජනාධිපති ධුර කාලය තුළ ඔහු ප්‍රහාර එල්ල කිරීමට තර්ජනය කර හෝ සැබෑ ලෙසම පහරදී ඇති රටවල් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉරානය සමඟ එක්ව හෝර්මූස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට ඕමානය උත්සාහ කරන්නේ නම්, ඔවුන්ට ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී ප්‍රකාශ කළේය.
මෙම සිදුවීමත් සමඟ ලෝකයේ පවතින රටවල් 200කට ආසන්න සංඛ්‍යාවෙන් 15කටම ට්‍රම්ප් විසින් තර්ජනය කර හෝ ප්‍රහාර එල්ල කර ඇති බව සීඑන්එන් (CNN) වාර්තාවක් පෙන්වා දෙයි. මෙය ලෝකයේ සමස්ත ජනගහනයෙන් 11 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ජීවන රටාවට සහ ආරක්ෂාවට බලපෑම් කළ හැකි මට්ටමක පවතින බව එම වාර්තාවේ දැක්වේ.
ට්‍රම්ප්ගේ මෙම ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්තිය තුළ ප්‍රහාර එල්ල කළ රටවල් අතරට ඉරානය, ඉරාකය, නයිජීරියාව, සෝමාලියාව, සිරියාව, වෙනිසියුලාව සහ යේමනය ඇතුළත් වේ. මීට අමතරව කැරිබියන් සහ පැසිෆික් සාගරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන යාත්‍රා 60කට ආසන්න ප්‍රමාණයකට ද ඔහු ප්‍රහාර එල්ල කර ඇත.
තර්ජනය කළ හෝ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව බැහැර නොකළ රටවල් අතරට කැනඩාව, කොලොම්බියාව, කියුබාව, ග්‍රීන්ලන්තය, මෙක්සිකෝව, පැනමාව සහ ඕමානය ඇතුළත් වන අතර, මෙම රටවල් 15න් 5ක්ම (කැනඩාව, කියුබාව, ග්‍රීන්ලන්තය, පැනමාව සහ වෙනිසියුලාව) ඇමෙරිකා එක්සත් ජනපදයේ කොටසක් බවට පත් කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ඔහු මීට පෙර අදහස් පළ කර තිබේ.
ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාවලිය “උමතු පුද්ගල න්‍යාය” (Madman theory) අනුගමනය කිරීමක් ලෙස බොහෝ දෙනා අර්ථකථනය කරති. තමන් අනපේක්ෂිත ලෙස ක්‍රියා කරන බව පෙන්වීමෙන් ජාත්‍යන්තර ප්‍රතිවාදීන් තමාගේ කොන්දේසිවලට අවනත කරවා ගැනීමට ඔහු උත්සාහ කරයි. කෙසේ වෙතත්, ඉරානය සහ වෙනිසියුලාව වැනි රටවලට ආක්‍රමණ දියත් කර ඇති ජනාධිපතිවරයෙකු කෙටි කාලයකදී ලොව රටවල් විශාල සංඛ්‍යාවක් ඉලක්ක කර ගැනීම ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ.
















