ගල්අඟුරු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය එම කොමිසමේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ. විමර්ශන ක්‍රියාවලිය සාධාරණව සහ අපක්ෂපාතිව පවත්වාගෙන යෑම සඳහා කොමිෂන් සභාව අනුගමනය කරන කාර්ය පටිපාටිය අඩංගු ලේඛන හෝ තීරණයන් ලබා දෙන ලෙස එම සංවිධානය මෙහිදී ඉල්ලා ඇත. එසේම කොමිෂන් සභාව ස්වාධීන විමර්ශන සිදු කරන්නේද යන්නත්, සාක්ෂි මෙහෙයවීමේදී නීතිමය සහය ලබා දෙන ආකාරය සහ නීතීඥවරුන්ගේ කාර්යභාරය පිළිබඳවත් එම ප්‍රශ්නාවලිය මගින් විමසා තිබේ.
මේ අතර අද (14) දිනයේදී කොමිසම හමුවේ තවත් විශේෂ සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා අද පෙරවරුවේ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ද අද පස්වරුවේ කොමිසම හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. මීට පෙර ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද මෙම කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණි. ගල්අඟුරු ආනයනය සහ විදුලිය නිෂ්පාදනයේදී සිදුවී ඇති අක්‍රමිකතා පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාව පත් කර ඇත.














