පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට අක්කර 8,000කට ආසන්න වගා හානි ප්‍රමාණයක් සිදුව ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් එක් ගොවි මහතෙකුට උපරිම අක්කර 5ක් දක්වා වන්දි හිමිවන අතර, එම කඩිනම් වැඩපිළිවෙල සඳහා මුල් අදියර ලෙස රුපියල් මිලියන 3,000ක් වෙන් කර ඇත. මෙහිදී වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයට වන අතර, එහි අක්කර 1,923ක වගා හානි සිදුව තිබේ. මීට අමතරව මොනරාගල (අක්කර 1,421), පොළොන්නරුව (අක්කර 1,259), අම්පාර (අක්කර 1,055) සහ හම්බන්තොට (අක්කර 783) යන දිස්ත්‍රික්කවල ගොවීන් 7,000කට ආසන්න පිරිසකට මෙම වගා හානි බලපා ඇත.
වගා හානි සිදුවූ ගොවීන්ට තමන්ගේ ආසන්නම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර හෝ කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සංවර්ධන හෝ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී ඒ පිළිබඳව දැනුවත් කළ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














