පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් හෙට (අප්‍රේල් 20) සිට යථා තත්ත්වයට පත් කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සහ සාමාන්‍ය සේවාව ඇතුළු සියලුම බාහිර සේවාවන් හෙට පෙරවරුවේ සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනු ඇත. පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය අප්‍රේල් 17 වනදා සිට මෙම සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
පද්ධතියේ පැවති දෝෂය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති අතර, සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාවට සිදුවූ අපහසුතාව පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කනස්සල්ල පළ කර සිටියි. හෙට දින සේවාවන් ලබාගැනීමට පැමිණෙන අයදුම්කරුවන් හට අවශ්‍ය පහසුකම් සැලසීමට සියලු නිලධාරීන් සූදානමින් සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.














