අධිකව කළු දුම නිකුත් කරමින් මාර්ගවල ධාවනය වන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට පොලිසිය තීරණය කර තිබේ. පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ මෝටර් රථ පරීක්ෂකවරුන් සමඟ එක්ව මෙවැනි වාහන පරීක්ෂා කර පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවයි.
මෙම වැඩපිළිවෙළට සහාය වීම සඳහා මහජනතාවට ද අවස්ථාව සලසා දී ඇති අතර, මාර්ගයේ ධාවනය වන වාහනයකින් අධික ලෙස කළු දුම නිකුත් වන්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දී ඇත. ඒ අනුව අදාළ වාහනයේ අංකය හෝ වීඩියෝ පටයක් 070 3500525 යන අංකයට යොමු කිරීමෙන් ජනතාවට සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.















