27 April 2024
#දේශීය #පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමේ දැවැන්තයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නවා – ඇමැති ටිරාන්

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත දැවැන්තයින් තරාතිරමක් නොමැතිව අත්අඩංගුවට ගැනීම අපගේ අරමුණ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අදහස් පල කල මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා “ ප්‍රධාන, පිළිගත් මාධ්‍ය කිසිවකින් මෙතෙක් එවැනි චෝදනාවක් එල්ල වී නැහැ. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාල මුදල් මත යැපෙන අතලොස්සක් පිරිස් එවැනි චෝදනා එල්ල කරනවා. නමුත් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ මාධ්‍යවේදීන් වෙත වාර්තා වන සිදුවීම් විශ්ලේෂණය කරන විට ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම මෙහෙයුම ආරම්භ කරන තුරු විෂය භාර අමාත්‍යවරයා ලෙස මටද ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබී නොතිබුණත් දිවයින පුරා ගම් නගර භේදයකින් තොරව සාමාන්‍ය ජනතාවගෙන් මා වෙත ලැබෙන දුරකථන ඇමතුම් තුළින් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් ජනතාව කොපමණ පීඩාවකින් පසු වූවාද යන්න පිළිබඳ අවබෝධ කරගත හැකියි. කිසිදු අවස්ථාවක පෞද්ගලික ගැටලු මත අප වැටලීම් සිදු කරන්නේ නැහැ. පසුගියදා වැලිගම ප්‍රදේශයේ සිදුවූ සිදුවීම සම්බන්ධව හෝටලයක හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුත් සමඟ කාර්යාලයට පැමිණ මා මුණ ගැසී මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලීමක් කළා. මා ඔහුට අවවාද කළේ තමන්ගේ ස්ථානයේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා ඉඩ ලබා නොදෙන ලෙසයි. නැවත වරක් එම ස්ථානය පරීක්ෂා කරන විට මත්ද්‍රව්‍ය තිබී හමුවොත් එහි හිමිකරුද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මම ප්‍රකාශ කළා. කිසිවෙකුත් සමග මාගේ පෞද්ගලික අමනාපයක් නැහැ.නමුත් වැරදිකරුවන් සමඟ හිඳ හසු වුවහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවනවා. අදාළ සිදුවීම සිදුවනතුරු එහි හිමිකරු කවුරුන්ද යන්න පිළිබඳව හෝ මා දැන සිටියේ නැහැ. හිමිකරු කවුද යන්න මා දැනුවත් වූයේ සිදුවීමට පසු දින යම් යම් පුද්ගලයින් මා හට දුරකථන ඇමතුම් ලබාදෙන අවස්ථාවේදී. අප කිසිදු අවස්ථාවක පදනමක් නොමැති චෝදනා පිළිබඳ කරදර වන්නේ නැහැ. මේ මෙහෙයුම තුළින් ජාවාරමේ නිරත දැවැන්තයින් තරාතිරමක් නොමැතිව අත්අඩංගුවට ගැනීම අපගේ අරමුණයි. කොතරම් එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කලත් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේද නැහැ. ඉතාමත් අතලොස්සක් වූ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින්, නීතිඥ වැනි පිරිසක් මෙවැනි කටයුතුවල නිරත වනවා යැයි අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩබලන පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා, ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක් පිටිය මහතා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාඛ්‍ය නායක්කාර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *