අමෙරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග මුහුදු කලාපයේ ඇතිවී තිබෙන ආරක්ෂක තර්ජන සැලකිල්ලට ගනිමින්, ඩුබායි රාජ්‍යය තම ආර්ථිකය සුරක්ෂිත කරගැනීම සඳහා ඓතිහාසික පියවරක් ගැනීමට සැරසේ.
ඒ අනුව, ඉරාන තර්ජන පවතින හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම මඟහැර යා හැකි පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නැගෙනහිර වෙරළ තීරයේ ෆුජයිරා ප්‍රදේශයේ නව වරායක් සහ බහාලුම් පර්යන්තයක් ඉදිකිරීමට සුප්‍රකට වරාය ක්‍රියාකරු DP වොර්ල්ඩ් සමාගම සැලසුම් කරමින් සිටින බව ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ වාර්තා කරයි.
ඩුබායිහි ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානය වන ‘ජෙබෙල් අලි’ වරාය මත පවතින දැඩි රඳාපැවැත්ම අවම කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. ඔමාන් බොක්ක ඔස්සේ පැමිණෙන බහාලුම් සෘජුවම නැගෙනහිර වෙරළට ගොඩබා, එතැන් සිට ගොඩබිම් මාර්ග ඔස්සේ ඩුබායි, අබුඩාබි සහ සෙසු ගල්ෆ් කලාපීය රටවල් වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන සිය ගණනක් ආයෝජනය කිරීමට නියමිත අතර, සාකච්ඡා සාර්ථක වුවහොත් වසර 1ත් 1.5ත් අතර කාලයකින් වැඩ නිම කිරීමට හැකි වනු ඇත.
මෙම නව වරාය ඉදි කළ ද වසරකට බහාලුම් මිලියන 15.6ක් පරිහරණය කරන ජෙබෙල් අලි වරායේ ක්‍රියාකාරිත්වය කිසිසේත්ම අඩාල නොකරන බව සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවධාරණය කර සිටී.
















