පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් තමන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුමාරකුලරත්න මහතා ගොනු කළ රිට් පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජූලි මස 20 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බලන ලද අතර, එහි වගඋත්තරකරුවන් ලෙස කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයන් නම් කරනු ලැබ සිටිති. පෙත්සම්කරු පෙන්වා දෙන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම් ධුරය දැරූ කාලය විශ්‍රාම වැටුප් ගණනය කිරීමට ඇතුළත් කළ බවට චෝදනා කරමින්, නීති විරෝධී මූලික විමර්ශනයක් මත පදනම්ව පසුගිය ජනවාරි 22 වැනිදා සිය සේවය අත්හිටුවා ඇති බවයි. පාර්ලිමේන්තු සේවකයින්ගේ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ නීත්‍යානුකූල බලධාරියා පාර්ලිමේන්තු මහලේකම්වරයා බැවින් උපදේශක කමිටුවේ මෙම තීරණය නීතියට පටහැනි බවත්, එබැවින් පෙත්සම් විභාගය අවසන් වනතුරු වැඩ තහනම් කිරීමේ ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඇතුළු නීතිඥ මඬුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
















