පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල, විජයදාස රාජපක්ෂ සහ සරත් වීරසේකර යන මහත්වරුන් මෑතකදී සිදුකරන ප්‍රකාශ, දැනට ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය වෙනත් අතකට යොමුකිරීමේ දේශපාලන උත්සාහයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා චෝදනා කළේය. ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් සහ ඊට සහය දුන් අය පිළිබඳ කරුණු හෙළිදරවු වෙමින් පවතින මොහොතක, මහජන අවධානය වෙනතකට යොමු කර වෙනත් පාර්ශ්ව ආරක්ෂා කිරීමේ දේශපාලන වුවමනාවක් මින් පෙනෙන බව ඒ මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
විමර්ශනවල වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, ඇතැම් සැකකරුවන් විමර්ශන සඳහා තම ජංගම දුරකතන හෝ පරිගණකවල මුරපද (Passwords) ලබා නොදීම වැනි තාක්ෂණික බාධා පවතින බවත්, ඒවා විසඳා ගැනීමට අධිකරණ ක්‍රියාවලිය හරහා කටයුතු කරන බවත් සඳහන් කළේය. එසේම, ‘සාරා ජැස්මින්’ නමැත්තියගේ ඩීඑන්ඒ (DNA) පරීක්ෂණ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කරගැනීමට සහ සමස්ත අපරාධය පිළිබඳ කරුණු හෙළිදරවු කරගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර තාක්ෂණික සහය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනට නිවැරදි මාවතේ ගමන් කරන බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව හෙළි කළ අමාත්‍යවරයා, ඒ වෙනුවට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ජාත්‍යන්තරව විහිදී ඇති සංවිධානාත්මක අපරාධ ජාලයන් මැඬලීම සඳහා ශක්තිමත් නව පනතක් ඉදිරි මාස දෙක ඇතුළත පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
















