ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන ‘Meta’ සමාගම විසින් අනාවැකි පළ කිරීම් සහ ඔට්ටු ඇල්ලීම් සඳහා වන (Prediction markets) තමන්ගේම ස්වාධීන ජංගම දුරකථන යෙදවුමක් (App) “Arena” නමින් නිර්මාණය කරමින් සිටින බව වාර්තා වේ. මාධ්‍ය වාර්තාවලට අනුව, Meta ප්‍රධානී මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) විසින්ම සිය කණ්ඩායමකට මේ සඳහා නියෝග ලබා දී ඇති අතර, ආරම්භයේදී මෙහි ඔට්ටු තැබීම් සිදුවන්නේ සැබෑ මුදල්වලින් නොව ලකුණු (Points) ක්‍රමවේදයක් හරහාය.
මෙම පුවත කරළියට පැමිණීමත් සමඟම ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම් (Sports betting) සිදුකරන සමාගම්වල කොටස් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ. ලොව පුරා බිලියන සංඛ්‍යාත ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් සෘජුවම සම්බන්ධ කරගත හැකි බැවින්, දැනට මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන ‘Polymarket’ සහ ‘Kalshi’ වැනි පද්ධති වෙත මෙයින් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ලෝකයේ ප්‍රධානතම තාක්ෂණික සමාගමක් (Big Tech) මෙලෙස අනාවැකි වෙළඳපොළට අවතීර්ණ වීමත් සමඟ ඉදිරියේදී මෙම ක්ෂේත්‍රය තුළ දැඩි තරඟකාරීත්වයක් නිර්මාණය වනු ඇත.
















