විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳීම සඳහා වන කැබිනට් අනුමැතිය මේ වන විට හිමිව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බැවින් විදුහල්පතිවරුන්ට කාලයක් තිස්සේ පැවැති මෙම ගැටලුව කඩිනමින් විසඳිය හැකි වනු ඇතැයි ඇය සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසුවේ, විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් සමඟ පසුගියදා (5) පැවැති සාකච්ඡාවකදීය. මෙතෙක් එම මධ්‍යස්ථානය තුළ මතුව පැවැති ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීමේ ගැටලුව වෙනුවෙන් නව ඉඩමක් ලබා දීමටත්, දේශන ශාලා, යටිතල පහසුකම් සහ සනීපාරක්ෂක ගැටලු ඇතුළු අනෙකුත් ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුම් ලබා ගැනීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ අවධාරණය කළාය.
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිසේත් නතර වී නැහැ. 2027 වසරේදී 6 වැනි ශ්‍රේණියට සහ 2 වැනි ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් වෙමින් පවතිනවා. එමෙන්ම මේ වසරේ ආරම්භ කළ පළමු වසරේ ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය 2 වැනි සහ 3 වැනි වාර පොත් සියල්ල අප නිකුත් කර අවසන්. මීට අමතරව ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ පැවැති සාකච්ඡාවලින් පසු අපට ඒ සඳහා ද අනුමැතිය හිමි වුණා. ඒ අනුව මේ වසර තුළ එම ගැටලුවට ද සාර්ථක විසඳුමක් ලැබෙනු ඇති.”
වැඩකරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධතියේ තිබෙන එකම විශ්වවිද්‍යාලය විවෘත විශ්වවිද්‍යාලය බැවින්, එහි දියුණුව වෙනුවෙන් රජය සෘජුවම මැදිහත් වන බව ද ඇය කියා සිටියාය. එමෙන්ම අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී පියවර ද මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම සාකච්ඡාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් මහජන නියෝජිතයන්, විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අනුෂ්ක බණ්ඩාර ඇතුළු ආචාර්යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
















