ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ (E.B. Creasy & Co. PLC) BIC සහ DENTA කර්මාන්තශාලාව, පසුගියදා පැවති Responsible Care Excellence Awards 2025 සම්මාන උළෙලේදී කීර්තිමත් ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලබා ඇත. මෙවර සම්මාන උළෙලේදී සියලුම කාණ්ඩයන් ආවරණය කරමින් ප්ලැටිනම් සම්මානයක් දිනාගත් එකම ආයතනය බවට පත්වීමට ඊ.බී. ක්‍රීසි සහ සමාගම සමත්වීම විශේෂත්වයකි. වගකීම්සහගත, සුරක්ෂිත මෙන්ම තිරසාර නිෂ්පාදන ක්‍රියාවලීන් අනුගමනය කිරීම සම්බන්ධයෙන් එම සමාගම දක්වන සුවිශේෂී කැපවීම මෙම ඇගයීමට හේතු වී තිබේ.
ලංකා රෙස්පොන්සිබල් කෙයාර් කවුන්සිලය (LRCC) විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය පානදුර The Barnhouse පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර රසායනික සංගම් කවුන්සිලයේ (ICCA) උපදේශක බැරී ඩයර් මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, පාරිසරික ආරක්ෂාව සහ සේවක සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන් ආරක්ෂා කරමින් ඊ.බී. ක්‍රීසි සමාගම ලබා ඇති ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක්විය.

















