ප්‍රවාහන ක්ෂේත්‍රයේ දශක ගණනාවක් තිස්සේ අප දුටු මනඃකල්පිත සිහිනයක් සැබෑ කරමින්, ගොඩබිම මෙන්ම ගුවනේද ගමන් කළ හැකි මෝටර් රථ මහා පරිමාණයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් සූදානම් වෙයි. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල පමණක් දුටු මෙම සුවිශේෂී වාහන මාදිලිය, සාමාන්‍ය ප්‍රවාහන රටාව මුළුමනින්ම වෙනස් කරමින් අනාගත ලෝකය වෙත පියවර තබන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහාමාර්ගවල පවතින දැඩි වාහන තදබදයට ස්ථිර විසඳුමක් ලෙස ඉදිරිපත් වන මෙම නව නිපැයුම, ගෝලීය අවධානය දිනාගත් පෙරළිකාර පුවතක් බවට මේ වන විටත් පත්ව අවසානය.
චීනයේ ප්‍රමුඛ පෙළේ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන එක්ස්පෙන්ග් (XPENG) ආයතනය විසින් 2027 වසරේදී මෙම පියාඹන මෝටර් රථ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. පුදුමයට කරුණ නම්, මෙම රථ නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමටත් පෙර මේ වන විටත් ඇණවුම් 7,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබීමයි. ව්‍යාපෘතියේ මීළඟ තීරණාත්මක පියවර ලෙස චීනයේ ගුවන් බලධාරීන්ගෙන් අවශ්‍ය නීතිමය අවසර ලබා ගැනීමේ කටයුතු මේ දිනවල ඉතා සක්‍රීයව සිදුවෙමින් පවතින බව එම සමාගම වැඩිදුරටත් අනාවරණය කරයි.
ලෝකයේ ප්‍රවාහන ඉතිහාසය නව මාවතකට යොමු කරන මෙම පියාඹන මෝටර් රථ, ඉදිරි වසර කිහිපය ඇතුළත ලෝකයේ ප්‍රධාන නගරවල අහස ආක්‍රමණය කරනු ඇති බවට විද්‍යාඥයෝ අනාවැකි පල කරති. සුවිශේෂී තාක්ෂණයකින් සහ ආරක්ෂිත ක්‍රමවේදවලින් සමන්විත මෙම වාහන යුගය ආරම්භ වීමත් සමඟම, සාමාන්‍ය ජනතාවගේ දෛනික ගමන් බිමන්වල විප්ලවීය වෙනසක් සිදුවීම වැළැක්විය නොහැක. තාක්ෂණයේ මහිමයෙන් මිනිසා ගොඩබිමෙන් මිදී ගුවනට පිවිසෙන මෙම අපූරු අවස්ථාව, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රවාහන නිම්හිම් පුළුල් කරන ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනු නිසැකය.

















