දුම්වැටි භාවිතය නිසා මෙරට ආර්ථිකයට සහ සෞඛ්‍ය පද්ධතියට සිදුවන වාර්ෂික පිරිවැය රුපියල් බිලියන 214ක් ලෙස ගණනය කර තිබුණද, එමඟින් සිදුවන සැබෑ සමාජීය හානිය ඊට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව ආර්ථික හා සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
පර්යේෂකයන් අවධාරණය කරන්නේ රුපියල් බිලියන 214ක පිරිවැය ගණනය කර ඇත්තේ රෝගාබාධ සඳහා වැයවන සෘජු වෛද්‍ය පිරිවැය සහ ආර්ථිකමය සාධක පමණක් පදනම් කරගෙන බවයි. එහිදී, දුම්වැටි භාවිතය හේතුවෙන් පියවරුන් සහ ස්වාමිපුරුෂයන් අකාලයේ මියයාම නිසා දරුවන්ට සහ බිරින්දෑවරුන්ට සිදුවන මානසික බිඳවැටීම, පවුලක ආදරය හා ආරක්ෂාව අහිමි වීම වැනි “මානුෂීය මිල” (Human Cost) කිසිසේත්ම මුදලින් ගණනය කර නොමැති බව ඔවුහු පවසති. මේ හේතුවෙන්, දුම්වැටි ව්‍යසනය නිසා රටට සහ පවුල් සංස්ථාවට සිදුවන සමස්ත සැබෑ විනාශය මෙම සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරනවාට වඩා අතිදැවැන්ත එකක් බව විශේෂඥයෝ වැඩිදුරටත් අනතුරු අඟවති.
















