27 April 2024
#දේශීය

නිෂ්පාදන ආර්ථිකයක් බිහි කීරීමට උර දෙනවා – අධ්‍යාපන ඇමති සුසිල්

නවෝත්පාදන දිරිගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වොටර්ස් එජ්හි දී ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසන් සභාව විසින් දෙවසරකට වරක් සංවිධානය කරනු ලබන විද්‍යා හා තාක්ෂණ සමුළුව අමතමිනි.

මෙම වැඩමුළුව සඳහා විදෙස්ගත හා මෙරට සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයන්, පර්යේෂක විද්වතුන් ඇරයුම් ලබා සිටි අතර කාලෝචිත මාතෘකාවන්ට අදාළ ව ඔවුන්ගේ තේමාව වී තිබුණේ ‘දේශගුණ විපර්යාස විචලනය වන යුගයක තිරසර සංවර්ධනය සඳහා විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය’ යන්නයි. ඊට අදාළ ව ඔවුන් විසින් පවත්වනු ලබන සැසිවල වාර්තා විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි අදාළ ආයතනවලට දෙනු ලබයි.

අමාත්‍යවරයා පැවසුවේ, දේශගුණ විපර්යාස කෙරෙහි මෙන් ම පිරිසිදු බලශක්ති ප්‍රභවයන් හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විද්වතුන්ගේ අවධානය මෙවර යොමු වී තිබීම අතිශයින් ම කාලෝචිත වන අතර සුළං, හිරු එළිය, ජලය වැනි පරිසර දූෂණයකින් තොර පිරිසිදු බලශක්ති ප්‍රභවයන් කෙරෙහි මෙන් ම ආහාර සුරක්ෂිතතාව කෙරෙහිත් සැලකිලිමත් වීම අප රටට ද ඉතා වැදගත් වන බවයි.

මෙහි දී අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ කාර්යභාරය ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා ඒ හා සමගාමී ව මෙරට විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පර්යේෂකයන්ට හා නව නිර්මාණකරුවන්ට වාර්ෂික ව මූල්‍ය දිරිගැන්වීම් හා ඇගයීම් සිදු කරමින් ක්‍රියාකාරී දායකත්වයක් සපයන ජාතික පර්යේෂණ සභාව ද ප්‍රශංසාවට ලක් කළේ ය. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වැනි ආයතන මගින් මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට ලබා දෙන සහාය ද මෙහි දී අමාත්‍යවරයා සිහිපත් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *