27 July 2024
#සංවර්ධන

අධ්‍යාපන ශිෂ්‍යත්ව පිළිබඳ සාකච්ඡාවක් මෙරට ප්‍රංශ තානාපති හා අගමැති අතර සාකච්ඡාවක්

අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වැනි මුලපිරීම් තුළින් ශ්‍රී ලංකාව සමඟ වැඩි සබඳතාවක් ඇති කර ගැනීමට ප්‍රංශය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදිය.

රාජ්‍ය අංශයේ සේවකයින් ගණනාවක් දැනටමත් ප්‍රංශ උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බවත්, දෙරට අතර තවත් ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත් තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

පසුගිය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් එක් කළ තානාපතිවරයා,කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රියාදාමය ඉතා ප්‍රශංසනාත්මකව අගය කළේය.

“අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ” යැයි පැවසූ තානාපති ලැවර්ටු මහතා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආශ්‍රිත මරණ අනුපාතය අඩු බව සඳහන් කළේය.

ඒ තුළින් පිළිඹිබුවන්නේ ශ්‍රී ලංකාවේ ඉතා හොඳ සෞඛ්‍ය යටිතල ව්‍යුහයක් පවතින බව යැයි තානාපතිවරයා ප්‍රකාශ කළේය.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට කටයුතු කිරීම රජයේ ප්‍රමුඛතාවය වී ඇති බවයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“ප්‍රංශ රජය හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා” යැයි පැවසූ තානාපති ලැවර්ටු මහතා ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ප්‍රංශ වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් තිබෙන බවද කියා සිටියේය.

ඒ තුළින් දෙරට අතර වෙළඳ සබඳතා ඉහළ නැංවීමේ වැඩි ඉඩකඩක් ඇති බව තානාපතිවරයා විශ්වාසය පළ කළේය.

ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන සඳහා දෙරටම උනන්දුවෙන් පසුවෙති.

ශ්‍රී ලංකාව ප්‍රංශයට කරන ප්‍රධාන අපනයන අතර ඇඟලුම්, වටිනා ගල්වර්ග සහ වායුමය රබර් ටයර් ඇතුළත් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *