කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් තුන් කෝටි දහතුන් ලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් 18 දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අතර චීන ජාතිකයින් 16 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන් සියලුම දෙනා ව්‍යාපාරිකයින් බව අනාවරණය වී ඇත.
සැකකරුවන් ඩුබායි සහ මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. ඔවුන් සිය ගමන් මලු 27ක සඟවා ගෙන පැමිණි චීනයේ නිෂ්පාදිත දුම්වැටි 209,200ක් හෙවත් කාටූන් 1046ක් රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සොයාගෙන ඇත. හරිත මාවත ඔස්සේ මෙම තොගය පිට කිරීමට උත්සාහ කරද්දී ඔවුන් අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
















