දිස්ත්‍රික්ක 07කට බලපෑ එල්නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සහ අනෙකුත් කටයුතු සඳහා රුපියල් බිලියන 4.7ක ප්‍රතිපාදන ප්‍රමාණයක් තවදුරටත් වියදම් කිරීමට ඉතිරිව පවතින බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. අවශ්‍ය වුවහොත් ඒ සඳහා ඉදිරියේදී තවත් ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යාංශය සූදානම් බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම එල්නිනෝ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 23ක පවුල් 25,628කට අයත් පුද්ගලයන් 81,665ක් සඳහා මේ වන විට බවුසර් මඟින් ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි. මෙහිදී වැඩිම බලපෑමක් සහ හානියක් සිදුව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර, මොනරාගල, මඩකලපුව, අම්පාර, බදුල්ල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක මෙම බලපෑමට ප්‍රධාන වශයෙන් ලක්ව ඇත.
මෙම ස්වභාවික තත්ත්වය ඉදිරියේදී වර්ධනය වීම සම්බන්ධයෙන් පුරෝකතනය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, භාණ්ඩාගාරය හරහා ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අඛණ්ඩව ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.















