පවතින එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී පානීය ජල අවශ්‍යතාව, කෘෂිකර්මාන්තයට ජලය සැපයීම සහ එළඹෙන වසරේ මුලදී ඇති විය හැකි දැඩි වියළි කාලගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු විය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී නැවතත් දැඩි වියළි කාලගුණයක් ඇති විය හැකි බැවින් කෘෂිකර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය, වැවිලි ක්ෂේත්‍රය මෙන්ම විදුලිබල උත්පාදනයට විය හැකි බලපෑම් අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. විශේෂයෙන්ම ජල කප්පාදුවක් කිරීමට සිදු වුවහොත් ජලාශ හිඳෙන තෙක් නොසිට ජනතාව සමඟ සාකච්ඡා කර ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්, සතුන්ගේ ජල අවශ්‍යතා සහ ඉදිරි මහ කන්නයට අවශ්‍ය බිත්තර වී හා පොහොර සැපයීම ද තහවුරු කරන ලෙසත් උපදෙස් දෙන ලදී.
එමෙන්ම ඔක්තෝබර් මාසයේ ලැබෙන වර්ෂාවෙන් උපරිම ජල ධාරිතාවක් රැස් කර ගැනීමට වාරිමාර්ග පද්ධති කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, ජල මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවසර දීමටත් මෙහිදී තීරණය විය. මීට අමතරව ඉදිරි වියළි කාලගුණය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අවදානමට මුහුණ දීම සඳහා අතිරික්ත විදුලි ධාරිතාවක් සැලසුම් සහගතව පවත්වා ගැනීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.













