එල් නිනෝ (El Nino) කාලගුණික බලපෑම හේතුවෙන් ගිය සතියේ සිට ලොව පුරා ආහාර මිල ඉහළ යමින් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. මේ වන විට ආනයනය කෙරෙන සෑම ආහාර ද්‍රව්‍යයකම මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ඔවුහු සඳහන් කරති.
පසුගිය සතියේ ඇමෙරිකානු ඩොලර් 410 සීමාවේ පැවති බොම්බයි ලූනු අද වන විට ඇමෙරිකානු ඩොලර් 700 දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට නිෂ්පාදිත ලොකු ලූනු අස්වනු නෙළීම මෙතෙක් ආරම්භ කර නොමැති පසුබිමක් තුළ, ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 250ක් වැනි අගයක පවතී. ඒ අනුව බොම්බයි ලූනු කිලෝවක මිල ඉදිරියේදී රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.
මීට අමතරව ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කෙරෙන පරිප්පු මිලද ඉහළ ගොස් ඇති අතර, මෙතෙක් රුපියල් 180ක් වූ පරිප්පු තොග මිල දැන් රුපියල් 230ක් දක්වා ඉහළ ගොස් තිබේ. සීනි කිලෝවක ආනයන වියදම රුපියල් 250ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙතෙක් එය රුපියල් 210ක තොග මිලකට අලෙවි කෙරිණි.
එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඉන්දියානු රජය ඉදිරියේදී අපනයන සීමා කළහොත් එය ශ්‍රී ලංකාවට විශාල ලෙස බලපාන බවද එම සංගමය වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.















