එල් නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා රජය විසින් අවශ්‍ය පූර්ව සූදානම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය. අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ වන විට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මඩකලපුව, මොණරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති අතර, එම වැඩපිළිවෙළ දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මීට අමතරව, කන්තලේ, තඹලගමුව, කින්නියා, කුච්චවේලි සහ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවටද පානීය ජලය හිඟයකින් තොරව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට, මෙම වසර අවසානය වන විට පසුගිය වසර 75කට ආසන්න කාලය තුළ ඇති වූ ප්‍රබලතම එල් නිනෝ තත්ත්වයකට මුහුණදීමට සිදුවිය හැකි බැවින්, ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














