ලෝකයේ අවධානය යොමුව ඇති එල්-නිනෝ (El Niño) සහ ලා-නිනා (La Niña) තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් හඳුනා ගැනීමට සහ එම බලපෑම් සඳහා මුහුණ දීමට අවශ්‍ය උපදේශනය හා තොරතුරු ලබාදීමේ අරමුණින්, දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය යටතේ ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.
මෙම විශේෂඥ උපදේශක කණ්ඩායම ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ විද්‍යාත්මක සහ දත්ත මත පදනම් වූ ක්‍රියාශීලී සැලසුම්කරණයක් හරහා එල්-නිනෝ සහ ලා-නිනා බලපෑම් සඳහා ශ්‍රී ලංකාවේ සූදානම ශක්තිමත් කිරීමයි. පවතින රාජ්‍ය ආයතන ප්‍රතිස්ථාපනය කිරීමක් මෙයින් සිදු නොවන අතර, ස්වාධීන විද්‍යාත්මක උපදෙස් සහ උපායමාර්ගික ප්‍රතිපත්ති නිර්දේශ ලබා දෙමින් එම ආයතනවල කාර්යභාරයට අනුපූරක සහායක් ලබා දීම මෙහි අරමුණ වේ.
මෙම කණ්ඩායම සඳහා පූර්ණ ඡන්ද අයිතිය සහිත ප්‍රමුඛ පෙළේ විශේෂඥයන් දස දෙනෙකු සහ ස්වාධීන සභාපතිවරයෙකු පත් කිරීමට යෝජිත අතර මිනිසා මෙන්ම සතුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද සොයා බැලීම මෙහි අරමුණකි. මෙම පාර්ලිමේන්තු සංසදය ජාතික ප්‍රතිපත්තිමය රාමුවට දායකත්වය ලබා දීම සහ අදහස් සම්පිණ්ඩනය කර රටට, ජනතාවට සහ රාජ්‍ය සේවයට සහායක් ලෙස යෝජනා ඉදිරිපත් කිරීම සිදු කරන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම කටයුතු සඳහා දායක වීමට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ද්විත්වයටම විපක්ෂ නායකවරයා ආරාධනා කළේය.
















