රටට බලපෑමක් ඇතිවිය හැකි යැයි ප්‍රකාශ වන එල්නිනෝ තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ වී වගාවන් ඔක්තෝබර් මුල සිට සිදු කිරීමට සැලසුම් කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, යල කන්නයේ වී වගාවේ අස්වැන්න අගෝස්තු මැද වනවිට නෙළා අවසන් වන බවත්, ඉන්පසු ගොවිතැන සඳහා භූමි සකස් කර ඔක්තෝබර් මුල නැවත වී වගාව ආරම්භ කළ හැකි බවත්ය. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් වර්ෂාව වැඩි විය හැකි බවට ප්‍රකාශ වුවද, ගොයම වගා කර සති තුනක් හතරක් ගතවන නිසා වගාවට එතරම් බලපෑමක් නොවනු ඇතැයි අපේක්‍ෂා කරන බව පෙන්වා දුන් ඔහු, වගාවට අවශ්‍ය පොහොර පවතින බවත් ආනයන සහ අපනයන නිසි ලෙස පවත්වාගෙන යාමට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ඇති බවත් වැඩිදුරටත් කියා සිටියේය.














