රජයේ වී ගබඩා පහක් මෙතෙක් විවෘත නොකිරීම හේතුවෙන් මිනිපේ මහ ගොවි ව්‍යාපාරයේ වී කිලෝවක ගැනුම් මිල රුපියල් 90 – 95 ක් දක්වා පහළ දමා ගොවීන් සූරා කන බවත්, ගොවි පවුල් 15,000 ක් අතරමැදියන්ගේ සහ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට හසු වී ඇති බවත් සමස්ත ලංකා ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා පැවැසීය.
මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලට අයත් මිනිපේ මහ ගොවි ව්‍යාපාරයේ අක්කර විසිපන්දහසක් පමණ යල කන්නයේදී වී වගා කර ඇති අතර, මේ වන විට අස්වනු නෙළීම ආරම්භ වී ඇතත් රජයේ වී ගබඩා වසා දමා මහා පරිමාණ මෝල්හිමියන්ට සහ අතරමැදියන්ට වී කුණුකොල්ලයට මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇතැයි ඔහු චෝදනා කළේය. හෙට්ටිපොල – නාගොල්ල, මොරයාය, කොලොංගොඩ, පල්ලේවත්ත හා හසලක යන රජයේ වී ගබඩා තවමත් විවෘත කර නැති බවත්, හඳුන්ගමුව (මිනිපේ 4) වී ගබඩාවෙන් දිනකට මිලදී ගන්නා වී ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














