ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික තත්ත්වයට මුහුණ දීමේදී නිවැරදි තොරතුරු ජනතාව වෙත වගකීමෙන් ගෙනයාම සඳහා මාධ්‍ය සතු කාර්යභාරය අතිශය වැදගත් බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති “එල්-නිනෝ තත්ත්වය හා ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්” පිළිබඳ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එළඹෙන අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි අතර, නොවැම්බර් මාසයේදී එය උච්චතම අවස්ථාවට ළඟා විය හැකි බවට විද්‍යාත්මක පුරෝකථන පවතින බව ඔහු පෙන්වා දුන්නේය. විද්‍යාත්මක පදනමක් නොමැති තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොකර වගකීමෙන් කටයුතු කරන ලෙසත්, කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
















