එල් නිනෝ තත්ත්වයේ බලපෑම මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුමට වක්‍ර බලපෑම් එල්ල කළ හැකි බැවින්, ඊට පෙර සූදානමක් ලෙස අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍ය ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීම අවශ්‍ය බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය.
එල් නිනෝ හමුවේ ආහාර සැපයුම බාධාවකින් තොරව පවත්වා ගැනීමට සහ මිල ස්ථාවරව තබා ගැනීමට පූර්ව සූදානම් වැඩපිළිවෙළක් සැලසුම් කිරීමේ අරමුණින් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. පරිප්පු, අල, ලූනු, කරවල සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ හිඟයකින් තොරව පවත්වාගෙන යාම සහ මිල ගණන් ස්ථාවරව තබා ගැනීම පිළිබඳව මෙහිදී ආනයනික වෙළෙඳුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, ජනතාවට අනියත බියක් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකර වගකීම් සහගත ලෙස කටයුතු කරන ලෙස ඔහු ආනයනිකකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.














