පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I සහ II කලාප එළඹෙන 2026 සැප්තැම්බර් 14 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා මාසයක කාලයකට සියලු සංචාරකයන් සඳහා තාවකාලිකව වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ. ශුෂ්ක කලාපයේ පිහිටි යාල උද්‍යානයේ මෙම කලාප වාර්ෂිකව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී සතුන්ට ඇති වන තාප ආතතිය අවම කිරීම සඳහා මෙලෙස සම්ප්‍රදායිකව වසා තැබීම සිදු වේ. සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා උද්‍යානයේ III, IV, V සහ VI යන කලාප දෙස් විදෙස් සංචාරකයන් සඳහා බාධාවකින් තොරව විවෘතව පවතින අතර, මෙම වසා තබන කාලය තුළ සතුන්ට අඛණ්ඩව ජලය සැපයීම සහ යටිතල පහසුකම් නඩත්තු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.














