ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් එල් නිනෝ තත්ත්වය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බව අනාවරණය කර තිබේ. ඒ අනුව 2026 වසරේ අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ලෝකයේ දේශගුණික රටාවන්ට සැලකිය යුතු බලපෑම් එල්ල විය හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල තද වැසි සහිත කාලගුණයක් පැවතියද, වියළි කලාපයට අයත් ප්‍රදේශ රැසක ජල මූලාශ්‍ර වේගයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ. එම ප්‍රදේශවල උෂ්ණත්වයද ඉහළ යමින් තිබේ. ගෝලීය වශයෙන්ද රටවල් රැසක උෂ්ණත්වය ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, ඇතැම් ප්‍රදේශවල ලැව් ගිනි හේතුවෙන් විශාල භූමි ප්‍රදේශ විනාශයට පත්වෙමින් ඇත. කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයට වඩා ඉහළ උෂ්ණත්ව තත්ත්වයන් ඇති විය හැකි අතර, වැසි රටාවන්හිද සැලකිය යුතු වෙනස්කම් සිදුවිය හැකි බවයි.













