එල් සැල්වදෝර ජනාධිපති නායිබ් බුකෙලේ (Nayib Bukele) විසින් අපරාධ කල්ලි මර්දනය සඳහා ක්‍රියාත්මක කර ඇති මතභේදාත්මක හදිසි නීති යටතේ, පුද්ගලයින් 486 දෙනෙකුට එරෙහි දැවැන්ත සමූහ නඩු විභාගයක් පසුගිය අඟහරුවාදා ආරම්භ විය. මෙය එරට ඉතිහාසයේ පැවැත්වෙන විශාලතම නඩු විභාගයන්ගෙන් එකක් ලෙස සැලකේ.
ප්‍රබල ‘මාරා සල්වත්රුචා’ (MS-13) කල්ලියේ සාමාජිකයන් යැයි සැකකරන මෙම පිරිසට එරෙහිව 2012 සහ 2022 අතර කාලය තුළ සිදු කරන ලද අපරාධ 47,000කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. මීට එරට සිවිල් යුද්ධයෙන් පසු වාර්තා වූ දරුණුතම මිනිස් ඝාතන රැල්ල ද ඇතුළත් බව රජයේ නීතිඥවරු පෙන්වා දෙති. අපරාධ කල්ලි මර්දනය කිරීමේ පියවරක් ලෙස බුකෙලේ රජය විසින් හඳුන්වා දුන් මෙම සමූහ නඩු විභාග කිරීමේ ක්‍රමය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්ව ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ මේ හරහා සැකකරුවන්ට සාධාරණ නඩු විභාගයක් ලැබීමට ඇති අයිතිය උල්ලංඝනය වන බවයි. කෙසේ වෙතත්, මෙම දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් එරට අපරාධ අනුපාතය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව රජය අවධාරණය කරයි.














