චීන රජයට අයත් බීජ සහ පළිබෝධනාශක නිෂ්පාදන දැවැන්තයෙකු වන Syngenta සමාගම, අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ. ලබන මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ සාකච්ඡාවට සමගාමීව Syngenta සමාගම සිය මූලික කොටස් නිකුතුවක් (IPO) සඳහා සූදානම් වෙමින් සිටින අතර, එහිදී අමෙරිකානු ගොවීන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා චීනය සමඟ සාකච්ඡා කිරීමේදී ප්‍රධාන තුරුම්පුවක් ලෙස භාවිත කිරීමට ට්‍රම්ප් පාලනය උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2017 වසරේදී චීන රජයේ අනුග්‍රහය ලත් ChemChina සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 43කට ස්විට්සර්ලන්තයේ පිහිටි Syngenta සමාගම අත්පත් කර ගැනීම, පසුගිය සියවස් කාලයකදී චීන සමාගමක් සිදුකළ විශාලතම විදේශීය ආයෝජනය ලෙස සැලකේ. මෙම ගනුදෙනුව හරහා චීනය සිය දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය උසස් කෘෂිකාර්මික තාක්ෂණය හිමිකරගත් අතර, ගෝලීය කෘෂිකාර්මික වෙළඳපොළ තුළ ද ප්‍රබල ස්ථානයක් තහවුරු කරගත්තේය.
වර්තමානයේ ආහාර සුරක්ෂිතතාව යනු ජාතික ආරක්ෂාවේම කොටසක් ලෙස ලොව පුරා රටවල් පිළිගනිමින් සිටින පසුබිමක, Syngenta සතු බීජ තාක්ෂණය සහ කෘෂි රසායන දැනුම කෙරෙහි ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දැඩි අවධානය යොමුව තිබේ. විශේෂයෙන්ම කෘතිම බුද්ධිය වැනි තාක්ෂණයන් මෙන්ම කෘෂිකාර්මික නවෝත්පාදනයන් ද උපායමාර්ගික සම්පතක් ලෙස සලකන බැවින්, ඉදිරි වෙළඳ සාකච්ඡාවලදී මෙම සමාගම සම්බන්ධයෙන් තීරණාත්මක එකඟතාවන්ට එළඹීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














