නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීමකදී මෙම අක්‍රමිකතාව අනාවරණය වී ඇති අතර, ඊට අදාළ නඩුව ඊයේ (23) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබෙනවා.
ඇල්ල, දුම්රියපොළ පාරේ අංක 18 දරන ස්ථානයේ පිහිටි ආයතනයේදී සිදුකළ වැටලීමේදී, 2025 අප්‍රේල් 1 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව රුපියල් 100ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ ලීටරයක පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කර ඇති බව අනාවරණය වී තිබෙනවා. විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුවයි අධිකරණය මෙම දඩය නියම කර ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම නඩුවට අදාළව සඳහන් වූ රුපියල් 100ක මිල වර්තමාන උපරිම සිල්ලර මිල නොවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරනවා.
2026 ජුනි 10 වැනිදා නිකුත් කළ අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව, දේශීයව ඇසුරුම් කරන ලද බෝතල් කළ පානීය ජලය සඳහා වර්තමානයේ නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් මෙසේයි.
ඒ අනුව ලීටරයක සිට ලීටර් 1.499 දක්වා ප්‍රමාණයේ පානීය ජල බෝතලයක වර්තමාන උපරිම සිල්ලර මිල රුපියල් 120ක් වනවා.
ජල බෝතල් මිලදී ගැනීමේදී බෝතලයේ ප්‍රමාණයට අදාළ උපරිම සිල්ලර මිල පරීක්ෂා කර, ගෙවූ මුදල තහවුරු කරගැනීම සඳහා බිල්පතක් ලබාගන්නා ලෙසද අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
සංචාරක හෝටල්, ආපනශාලා, කැෆේ සහ නිකේතන ඇතුළු සියලුම වෙළෙඳ ආයතන නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීමෙන් වළකින ලෙසත්, සංචාරක ප්‍රදේශයක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම එලෙස වැඩි මිලක් අය කිරීමට අවසරයක් නොවන බවත් අධිකාරිය අවධාරණය කරනවා.
උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් අලෙවි කිරීම ඇතුළු වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කළ හැකියි.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.















