ලබන සැප්තැම්බර් මාසය වන තෙක් නැවත විදුලි බිල වැඩි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි. ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. විදුලි ජනන පිරිවැය ඉහළ යෑම නිසා බිල 18%කින් වැඩි කිරීමට සිදු වුවද, ඉන් සමස්ත පාරිභෝගිකයින්ගෙන් බලපෑමක් එල්ල වන්නේ 9%කට පමණක් බව ඔහු පෙන්වා දෙයි. ඒකක 180ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන 90.4%ක් වූ ගෘහස්ථ පාරිභෝගිකයින්ට මෙම මිල වැඩිවීම බලපාන්නේ නැති අතර ආගමික සිද්ධස්ථානවලින් 78.5%කට ද මෙම සහනය හිමි වේ.
මෙම මිල වැඩිවීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇති අතර මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ඉන්ධන වියදම බලාපොරොත්තු වූවාට වඩා විශාල ලෙස ඉහළ යාම ඉන් ප්‍රධාන වේ. එමෙන්ම වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් ජල විදුලි උත්පාදනය අඩුවී තාප විදුලිය මත වැඩිපුර යැපීමට සිදු වීමත්, විදුලි ඉල්ලුම මෙගාවොට් 150 – 200ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබීමත් මෙයට තවදුරටත් හේතු වී ඇත.
ජනන පිරිවැය ඉහළ යෑමේ පීඩනය පාරිභෝගිකයා මතම පටවන්නේ නැතිව, රජය විසින් රුපියල් බිලියන 15ක මුදලක් ජනන සමාගම් වෙත ලබාදීමට ද තීරණය කර ඇත. එළඹෙන මෝසම් වැසි සහ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමත් සමඟ සැප්තැම්බර් වන තෙක් මිල පවත්වා ගනිමින් ස්ථාවරව සිටීමට රජය අපේක්ෂා කරයි.















