නවසීලන්තය හමුවේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ලැබූ දරුණු පරාජයත් සමඟ එංගලන්ත ක්‍රිකට් ආයතනය බ්‍රෙන්ඩන් මැකලම්ව ටෙස්ට් පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඉන්දියාවට එරෙහිව සවුත්හැම්ප්ටන්හි පැවැති පස්වැනි විස්සයි20 තරගයට පෙර මෙම තීරණය නිල වශයෙන් නිවේදනය කෙරිණි.
එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක රිචඩ් ගෝල්ඩ් සඳහන් කරන්නේ පුහුණුකරු තනතුර සඳහා දැනටමත් සුදුසුකම් ලත් පුද්ගලයින් දස දෙනෙකුගේ පමණ ලැයිස්තුවක් තමන් සතු බවයි. කෙසේ වෙතත්, දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු (RCB) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඇන්ඩි ෆ්ලවර් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන බව වාර්තා වේ.
නව සැලසුම් අනුව, ඇන්ඩි ෆ්ලවර්ට RCB කණ්ඩායමේ පුහුණුකරු තනතුර දරමින්ම එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. 2009-2014 කාලසීමාව තුළ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට ඔසවා තැබීමට සහ ඔස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කිරීමට ෆ්ලවර්ගේ පුහුණුකාරිත්වය යටතේ හැකි විය.
මේ මස අගදී ආරම්භ වීමට නියමිත ‘ද හන්ඩ්‍රඩ්’ (The Hundred) තරගාවලියේ ලන්ඩන් ස්පිරිට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද ඇන්ඩි ෆ්ලවර් කටයුතු කිරීමට නියමිතව ඇත.
















