27 April 2024
#දේශීය

“නවය; සැඟවුණු කතාව” කෘතියෙහි ඉංග්‍රීසි සහ රුසියන් පරිවර්තන දොරට වඩී

උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි ඉංග්‍රීසි සහ රුසියානු පරිවර්තන, පරිවර්තන කෘති දෙකක් ඒලිදැක්විය.

ඒ, පසුගිය 13 වනදා සවස කොළඹ 07, පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදීය. 

රුසියානු පරිවර්තන කෘතිය, රුසියාවේ උසස් අධ්‍යාපනය ලැබූ වෘත්තීයවේදීනියක මෙන්ම සඟරා සංස්කාරකවරියක වන චින්තා සෙනෙවිරත්න මහත්මිය විසින් පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන කෘතිය ඇය විසින් මුල් කෘතියේ කතුවරයා වන විමල් වීරවංශ මහතාට පළමුව පිළිගන්වනු ලැබීය. දෙවනුව එම පරිවර්තන කෘතිය විමල් වීරවංශ මහතා විසින්  ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan  මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ඉන් අනතුරුව ඉංග්‍රීසි පරිවර්තන කෘතියෙහි(NINE; THE HIDDEN STORY) පරිවර්තකවරිය, ප්‍රවීණ දේශපාලන විශ්ලේෂිකාවක සහ මාධ්‍යවේදිනියක වන ෂෙනාලි වඩුගේ මහත්මිය, මුල් කෘතියේ කතුවරයා විමල් වීරවංශ මහතා වෙත එම පරිවර්තන කෘතිය පිළිගන්වනු ලැබුවාය. පසුව විමල් වීරවංශ මහතා විසින් “Galle Face Protest : Systems Change or Anarchy ගවේෂණාත්මක කෘතියේ කතුවර ප්‍රවීණ සාහිත්‍යවේදී සේන තෝරදෙණිය මහතා වෙත එම පරිවර්තන කෘතිය පිළිගන්වනු ලැබීය.

මෙම පරිවර්තන කෘති එළිදැක්වීමේ උළෙලේ ආරාධිත දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා විසින් සිදු කළ අතර ප්‍රධාන දේශනය “නවය; සැඟවුණු කතාව” කෘතියෙහි කතුවර විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට සපැමිණ සිටි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු  සම්භාවනීය ආරාධිතයන් පිළිගනු ලැබුවේ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසිනි.

මෙම අවස්ථාවට සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andres Marcelo Gonzalez Garrido, ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමන් නියෝජනය කරමින් එම තානාපති කාර්යාලයේ Chen Xiang Yuan සහ Jin Enze යන රාජතාන්ත්‍රික නිලධාරීහු ද පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, වත්මන් ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, මහාචාර්ය ටියුඩර් වීරසිංහ යන මහත්වරු ඇතුළු විද්වත් වෘත්තිකයෝ පිරිසක් ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *