27 April 2024
#දේශීය

කරාතේ ශූරයන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයූ එප්පාවල කටියාව යාය 01 විද්‍යාලය

ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර කරාතේ තරඟාවලියකින් රන් රිදී පදක්කම් දිනා ගනිමින් ලක් මවට කීර්තියක් ගෙනදුන් එප්පාවල, කටියාව යාය 01 විද්‍යාලයේ කරාතේ ශූරයන් හා විවිධ ක්‍රීඩා දක්ෂතා දැක්වූ එම පාසලේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමක් එම විද්‍යාලයේදී ඊයේ (13) සිදු කෙරිණි.

පසුගිය 10 වැනි දින ඉන්දියාවේදී ලෝක ෆුනාකෝෂි ෂෝටෝකාන් කරාතේ සංගමය මගින් සංවිධානය කළ 34 වැනි ජාතික වෙෆ්ස්කෝ විවෘත කරාතේ තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එප්පාවල කටියාව යාය 01 විද්‍යාලයේ චමෝදී නවෝද්‍යා කාතා අංශයෙන් රන් පදක්කමක්, කුමිතේ අංශයෙන් ලෝකඩ පදක්කමත්, දිනුක නිරෝෂන් කාතා අංශයෙන් රන් පදක්කමක්, කවීෂ මාලිංග කාතා අංශයෙන් රන් පදක්කමක්, කුමිතේ අංශයෙන් රිදී පදක්කමක්, ෂෙවොන් මක්දිල් කාතා අංශයෙන් ලෝකඩ පදක්කමක් හා චනුක පහන් කාතා අංශයෙන් රන් පදක්කමක් ලෙස රටවල් 12 ක් අතුරින් හොඳම කරාතේ කණ්ඩායම බවට තේරී පත්ව ඇත.

එප්පාවල කටියාව යාය 01 විද්‍යාලය යනු, තඹුත්තේගම අධ්‍යාපන කළාපයේ පිහිටි අඩුපහසුකම් සහිත පාසලකි.එම පාසල නියෝජනය කරමින් රටවල් 12 ක් පරාජය කරමින් ලක් මවට කීර්තියක් ගෙන දුන් එම කරාතේ කණ්ඩායම හා කටියාව යාය 01 විද්‍යාලයෙන් ඉතිහාසයේ ප්‍රථම වරට සමස්ථ ලංකා පාසල් මළල ක්‍රීඩා සඳහා සුදුසුකම් ලැබීමට 2023 උතුරු මැද පළාත් පාසල් මළල ක්‍රීඩා උළෙලේදී 18 න් පහළ බාලක මීටර 100 ක් දුර දිවීමේ තරඟ ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගත් කටියාව යාය 01 විද්‍යාලයේ පැතුම් සංජය ඇතුළු පළාත් ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ දක්ෂතා ඔප් නැංවු කරාතේ මාස්ටර් ශෙහාන් රත්නකුමාර මහතා, විද්‍යාලීය ක්‍රීඩාගුරුභවතුන් වන කේ.වී.එච්.එස් රාජසිංහ, සී.එම්.පී.ඩබ්.සී.කේ චන්ද්‍රසේකකර යන මහත්මහත්මීන් මහත් හරසරින් එප්පාවල කටියාව යාය 01 විද්‍යාලයේ දූ දරුවන්, ගුරුභවතුන් හා දෙමාපියන් විසින් මහත් හරසරින් පිළිගත්හ.

අනතුරුව ඔවුන් වෙනුවෙන් උපහාර උළෙලක් සංවිධානය කර තිබූ අතර එහිදී ඔවුන් වෙත කුසලාන හා සහතික පත් ප්‍රධානය කරමින් ඔවුන් අගය කිරීම සිදු කිරීමට චාම් උත්සවයක්ද සංවිධානය කර තිබිණි.එම උත්සවය අලංකාර නර්ථන අංගයන්ගෙන්ද සමන්විත විය.

මෙම අවස්ථාවට තඹුත්ත‌ේගම කළාප ක්‍රීඩා අධ්‍යක්ෂ කේ ප්‍රසන්න පෙරේරා මහතා, විද්‍යාලීය විදුහල්පති ඩබ්.එම්.ජී ආරියරත්න මහතා හා අවට විද්‍යාල වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසු සිසුවියන් හා දෙමාපියන් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *