27 April 2024
#දේශීය

එප්පාවල පොස්පේට් සමාගම විකිණිමේ සුදානමක් – ජාතික ගොවිජන සම්මේලනය

මෙරට ස්වාභාවික සම්පතක් වන එප්පාවල පොස්පේට් රාජ්‍යය සමාගම මේ වන විට පුද්ගලික ආයතන 03 කට, විකිනීම සඳහා පිඹුරුපත් සකස් කර අවසන් කර තිබෙන බවත්, ලංකා පොස්පේට් රාජ්‍යය සමාගම වෙන්දේසි කර විකුණා දමා භාණ්ඩාගාරය මුදල් ප්‍රමාණයක් එක්කහු කර ගැනීමේ ඉලක්කයකට වත්මන් ආණ්ඩුව සැරසෙමින් සිටින බවත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ජාතික ගොවිජන සම්මේලනය පැවසීය.

අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ජාතික ගොවිජන සම්මේලනය මේ බව ප්‍රකාශ කර සිටියේය,එම මාධ්‍ය සාකච්ජාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික පුල්එළියේ ගුණරතන හිමියන්, ජාතික ගොවිජන සම්මේලනයේ උපසභාපති සුසන්ත කුමාර නවරත්න,මහවැලි එච් කළාපයේ, එප්පාවල කොට්ඨාශයේ සොහොයුරෝ ගොවි සංවිධානයේ සභාපති බන්දුල පියරත්න මහතා ඇතුළු ගොවි නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

එහිදී අදහස් දැක් වූ ජාතික ගොවිජන සම්මේලනයේ උපසභාපති සුසන්ත කුමාර නවරත්න මහතා,

පහුගිය සතිවල රටේ සාකච්ජාවට බඳුන් වූ ප්‍රධාන මාතෘකාවක් තමයි බදුල්ලේ චාමර සම්පත් දසනායක ඇමතිවරයා, එප්පාවල රොක් පොස්පේට් ආයතනයට ඇවිල්ලා නටලා ගියපු පිස්සුව මොකක්ද කියලා.චාමර සම්පත් දසනායකට හොඳටම පිස්සු කියලා තේරුණේ, පොස්පේට් ආයතනයට ඇවිල්ලා සිකුරිටි එකේ අයගෙන් සැලියුට් ගහගෙන ආචාර පෙළපාලී ලබලා ඇතුළට ගිහින් සේවකයෝ එක්ක රණ්ඩුවක් ඇදගෙන රටේ ප්‍රවෘත්ති මවන්නෙක් බවට පත් වුණා.ඒ වගේ පිස්සු ඇමතිවරු ගැන තවත් කථා කරනවා වෙනුවට ඉතාමත් වැදගත් කාරණයක් කථා කිරීම සම්බන්ධයෙන් මේ මාධ්‍ය සාකච්ජාව කැඳෙව්වේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය විදිහට.

මේ මොහොත වන විට රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපේ රටේ තියෙන සියලුම සම්පත් ටික, ස්වාභාවික සම්පත්, ආයතන ටික කුණු කොල්ලයට තුට්ටු දෙකට වෙන්දේසියේ තබමින් තියෙන්නේ,මේ වන විටත් පිඹුරුපත් හදලා ඉවර වුණ, කැබිනට් පත්‍රිකා දාලා ඉවර වුණ, ආයතනයක් විදිහට එප්පාවල රොක් පොස්පේට් ආයතනය තියෙනවා.මේ වන විට රනිල් රාජපක්ෂ ආණ්ඩුව පොස්පේට් ආයතනය වෙන්දේසියේ තබන්න සූදානම් වෙලා තියෙන්නේ.අපිට ආරංචි හැටියට කඩිනමින්ම මේ රොක් පොස්පේට් ආයතනය විකුණලා, භාණ්ඩාගාරය මුදල් ප්‍රමාණයක් එක්කහු කර ගැනීමේ ඉලක්කයකට මේ ආණ්ඩුව සැරසෙමින් ඉන්නවා.

1971 වසරේදී තමයි මේ එප්පාවල රොක් පොස්පේට් නිධිය හොයා ගන්නේ, 1975 වසරේදී මේ සම්බන්ධයෙන් කැනීම් කරන්න පටන් ගන්නවා.මේ වසර 50 කට ආසන්නව ගෙවුණු කාළය ඇතුලේ මේ රොක් පොස්පේට් නිධිය කැනීම් කරලා, පර්යේෂණ කරලා යම් ප්‍රමාණයක නිෂ්පාදනයක් සිදු කරන තැනක් බවට මේක පත් වෙලා තිබෙනවා.මේකේ වටිනාකම තේරුම් නොගත්ත, මේ රොක් පොස්පේට් ආයතනය ලංකාවේ කෘෂිකර්මාන්තයට කුමන මට්ටමකින් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද කියලා නොදන්න, කෘෂිකර්ම ඇමතිවරු ඉන්න රටක, ඒ අමාත්‍යංශ භාරව ඇමතිවරු ඉන්න රටක අද වේගයෙන් මේක පුද්ගලිකකරණය කරන තැනට පත් වෙමින් තිබෙනවා.විශේෂයෙන්ම එප්පාවල රොක් පොස්පේට් ආයතනයේ හයි ග්‍රේට් රොක් පොස්පේට් (HRP) හා එප්පාවල රොක් පොස්පේට් (ERP) නිෂ්පාදනය කරනු ලබනවා.මේ පොහොර වර්ග දෙක දැනට අපේ රටේ නිෂ්පාදනය කරනු ලබනවා.අපේ රටේ මේ නිෂ්පාදනය කරනු ලබන පොහොර අපේ රටේ තේ, පොල්, රබර් වගේ දිගුකාලීන භෝග වලට දැනට භාවිතයට යොදනවා.හැබැයි අපිට වී වගාව වැනි කෙටි කාලීන භෝග වලට මේ එප්පාවල නිෂ්පාදනය කරන පොස්පේට් භාවිතා කරන්න බෑ.එහෙම නම් සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය කළ යුතු වෙනවා.සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය කරන්න මේ තියෙන සම්පත් අනුව අපේ රටට තනියම බෑ,සල්ෆියුරික් අම්ලය භාවිතා කරලා මේක නිෂ්පාදනය කරන්න ඔ්න, හැබැයි සල්ෆියුරික් අම්ලය අපේ රටේ නෑ, එහෙම නම් ඒක විදේශීය රටකින් ගේන්න වෙනවා.එහෙම නැතිනම් මේක ජෛව තාක්ෂණය එකතු කරලා අපිට සල්ෆියුරික් නැතිව සිංගල් පොස්පේට් නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා.පහුගිය කාළයේ අපේ රටේ කරපු පර්යේෂණ ඇතුලේ මේ බයෝ තාක්ෂණය පාවිච්චි කර ගෙන විද්‍යාත්මකව මේකට ගුණය එක්කහු කරලා ඉවර වෙලා, අපේ රටේ කෙටි කාළීන භෝග වලට අවශ්‍යය පොහොර නිෂ්පාදනය කරන්න පුලුවන් පේට්න් අයිතියත් අපේ රටේ පුද්ගලයකුට ලැබිලා තියෙනවා.හැබැයි අවාසනාවක මහත ඒවා ක්‍රියාත්මක වෙන්න ඉඩ කඩ දෙන්නේ නෑ.ඒ නිසා බොහෝම වගකීමෙන් කියනවා සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය විදිහට අපි දැක්කා චාමර සම්පත් කියනවා අපි ඉන්නේ නිධානයක් උඩ කියලා, ඒවා චාමර සම්පත්ලට නිධාන වෙන්න පුලුවන්. හැබැයි ඒවා නිධාන කර ගන්න ඔ්න චාමර සම්පත්ලාට නෙමෙයි, ඒවා චාමර සම්පත්ලා ඔපමට්ටම් කරලා, වැඩි දියුණු කරලා ඉවර වෙලා, ඒවා එයාලාගේ භාවිතාව වෙනුවෙන් කටයුතු කරනවා.එයාලාගේ දේශපාලනය වෙනුවෙන් ඒ අය පාවිච්චි කරනවා.හැබැයි අපි කියනවා එප්පාවල පොස්පේට් එක කියන්නේ චාමර සම්පත්ගේ පුද්ගලික නිධානයක් නෙමෙයි කියලා මේ මොහොතෙදි අපි කියනවා.ඒ නිසා චාමර සම්පත් ඔහේ දැනගන්න ඔ්න, ඔහේට ඔ්න විදිහට මේ අපේ රටේ සමස්ථ කෘෂිකර්මාන්තයට, අපේ රටේ අනාගතය වෙනුවෙන් තියෙන එප්පාවල රොක් පොස්පේට් එක බිලි දෙන්න මේ රටේ ජනතාව සූදානම් නෑ, ඔහේට ඔ්න ඔ්න විදිහට මේ එප්පාවල රොක් පොස්පේට් ආයතනය පුද්ගලිකකරණය කරන්න හෝ විකුණන්න ඉඩ තියන්නේ නෑ කියන එක අපි කියනවා.ඔහේලා මේ වන විට පිඹුරුපත් හදලා තියෙන්නේ ඒක හරි, හැබැයි අපි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය විදිහට මහා සංඝරත්නයත්, මේ රටේ සමස්ථ ගොවි ජනතාවත් පෙරටු කර ගෙන මේ ක්‍රියාවලිය ආපස්සට හරවන්න අපි දැන් වීදී බහින්න සූදානම්, සටන් අරඹන්න සූදානම්,අපි මේ රටේ පරිසරවේදීන්, පරිසර ආයතන එක්ක කථා බහ කරමින් ඉන්නේ, මේ ආයතන විකුණන එකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නත් අපි සූදානමින් ඉන්නේ,

මේ චාමර සම්පත් ඇතුළු මේ ආණ්ඩුව ඉච්බන් පුද්ගලික සමාගමට TDL/A/2023-683 යටතේ මේ රොක් පොස්පේට් ආයතනයේ කොටසක් විකුණන්න සූදානම් කරලා තියෙන්නේ, ඒ වගේම TDL/A/2023-684 යටතේ බලපත්‍ර ඉල්ලා තිබෙන ඩී.එම් ට්‍රේඩර්ස් කියන ආයතනයටත් පොස්පේට් ආයතනයේ කොටසක් දෙන්න සූදානම් කරලා තියෙනවා.ඒ වගේම TDL/A/2023-685යටතේ දිසරු ඉන්ටර් නැෂනල් ඉංජිනියරින් කියන සමාගමට මේ එප්පාවල රොක් පොස්පේට් එක දෙන්න සූදානම් කරලා තියෙනවා.කැබිනට් පත්‍රිකාව දාලා ඉවර වෙලා, දැන් මේ සඳහා අනුමැතිය අරගෙන ඒ සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.එකක් හම්බන්තොට, ඒ වගේම අනෙක් එක චාමර සම්පත් දසනායකට සම්බන්ධ තවත් සමාගමක් කියලා, මෙහි තියන බරපතලකම අපේ රටේ ආණ්ඩුව විදිහට මැදිහත් වෙලා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට මැදිහත් වෙලා, රජය විදිහට මැදිහත් වෙලා අපේ රටට, පොහොර ගෙන්වීමට විශාල මුදල් ප්‍රමාණයක් පිට රටට දෙන කොට ආණ්ඩුව, දැන් මේ සමාගම් තුන මේක අරගෙන ඉවර වෙලා කරන්නෙත් අපනයනය කරන එක, මේ පවුඩර් එක අපනයනය කරලා ඉවරවෙලා, අපේ රටට ආපහු ටී.එස්.පී ගෙන්වනවා වී වගාවට යොදන්න.හැබැයි අපේ රටේ වී වගාව ඇතුළු කෙටි කාලීන භෝග වලට හා දීර්ඝ කාළීන භෝග වලට යොදන්න පුලුවන් පොහොර ටික අපිට මේ එප්පාවල රොක් පොස්පේට් එකෙන් හදාගන්න පුලුවන්කම තියෙනවා.එහෙම පුලුවන්කම තියෙද්දී මේක සමාගම් අතට පත් කරලා ඉවර වෙලා, එකේ තියෙන පවුඩර් අපනයනය කරලා ඉවර වෙලා, ඒ හරහා ඩොලර් භාණ්ඩාගාරයට ගෙන්න කල්පනා කරනවා මේ පාලකයෝ.ඒ එන ඩොලර් ප්‍රමාණයෙන්,ඊටත් වඩා ඩොලර් වියදම් කරලා අපේ රටේ වගාවන්ට පිටරටින් පොහොර ගේන්න කල්පනා කරනවා.මේ රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු වර්ථමාන ආණ්ඩුව ගෙවුණු වසර තුළ රටේ ආර්ථිකය යහපත් කියලා පෙන්වන්න උත්සහ කරමින්, දවසින් දවස ජනතාවගේ ආර්ථිකය වලපල්ලට යවමින් මේ වන විට ගොවි ජනතාවට බරපතල පීඩාවක් අත්පත් කර දෙමින් ගොවියාට පොහොර මිටියක් ගන්න බැරි තත්වයට පත් කර, පොහොර මිටියක් රුපියල් 10 000 කට -15000 කට ගන්න හදලා ඉවර වෙලා, අපේ රටේ මේ එප්පාවල පොස්පේට් නිධිය, තුට්ටු දෙකට සමාගම් වලට පටවලා ඉවර වෙලා, අත යටින් කොමිස් අරගෙන මේ ඇමතිවරු, ඔය ඉන්න බොහෝ දෙනෙක්, ගොවි ජනතාවගේ ජීවිත බිල්ලට දෙමින් තියෙනවා.ඒ නිසා සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය විදිහට අපි කියන්නේ, මේ විකුණන්න හදන එප්පාවල රොක් පොස්පේට් ආයතනය විකුණන එක, වෙන්දේසි කරන එක වහාම නවත්වන්න ඔ්න, මේ රටේ අනාගතය වෙනුවෙන්, මේ රටේ නිෂ්පාදන කෘෂි ආර්ථිකය වෙනුවෙන් ඒ ක්‍රියාවලිය වහාම ආපස්සට හරවන්න ඔ්නකම තියෙනවා.ලෝකයේම පොස්පේට් නිධි 14 යි තියෙන්නේ, ඒ අතුරින් එප්පාවල පොස්පේට් නිධිය තමා වැඩිම ද්‍රාව්‍යතාවයක් තියෙන, පිරිසිදුම පොස්පේට් පොහොර දෙන්න පුලුවන් පොස්පේට් නිධිය.ඊශ්‍රයලය, ස්වීඩන් වගේ තියන පොස්පේට් නිධි වලට වඩා එප්පාවල රොක් පොස්පේට් එක උපරිම ද්‍රාව්‍යතාවයක් තියෙන හොඳම මට්ටමක පොහොර තියෙන නිධියක් අපිට තියාගෙන එක බහුජාතික හෝ පුද්ගලික සමාගම් වලට දීලා මේ රට දවසින් දවස බංකොලොත් රටක් බවට පත් කරමින් තියෙනවා.සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය විදිහට අපි මේ රටේ ගොවිජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඩනගමින් ඉන්නවා.මේ පාලකයෝ හැමදාමත් ගොවිජනතාවගේ අයිතිය කප්පාදු කරමින් ඉන්නවා.ඒ නිසා චාමර සම්පත් දසනායකලා තමන්ට හිතූ හිතූ විදිහට මේ ආයතන වෙන්දේසී දාලා ඉවර වෙලා තමන්ට ඔ්න දේශපාලනය මේ මහ පොළවේ පැලපදියම් කර ගන්න හදනවා නම්, වැරදුනා ඔයාලට, දවසින් දවස ජනතාවගේ පීඩාව වැඩි වෙමින් තියෙනවා, ජල ගාස්තුව, ඉන්ධන වියදම් වැඩි වෙලා තියෙනවා, මේ තියෙන තත්වයන් ඇතුලේ අවුරුද්දකට කලින් මේ රටේ තරුණ තරුණියන් එකතු වෙලා ගෝඨාභය පැන්නුවාට එහා ගිහින් මේ එන පීඩාව ජනතාවගෙන් පිට වෙන්නේ රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා විතරක් නෙමෙයි, මේ ආණ්ඩුවම පන්නා දමලා ඉවර වෙලා, ගොවිජනතාවගේ පහසුකම් ටික දෙන්න පුලුවන් සැබෑ ජනතාවාදී නායකත්වයක් ගොඩ නගා ගැනීම වෙනුවෙන් මේ රටේ ජනතාව පෙළගස්වනවා.

අපේ රටේ ඉතිහාසය ගත් කළ මේ පැවති කිසිදු ආණ්ඩුවක්, අමාත්‍යංශ, ඇමතිවරුන්ට භාර දෙන කොට ඒ ඇමතිවරයාගේ අධ්‍යාපන මට්ටම හොයලා නෑ, ඒ ඇමතිවරයාගේ අධ්‍යාපන මට්ටම අනුව මේ අමාත්‍යධූරය දරන්න පුලුවන්ද? ඒවා මොකවත් හොයන්නේ බලන්නේ නැතිව ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පහුගිය කාළයේ, ඉතිහාසය පුරාවටම ඇමතිකම් දුන්නා.එහි ප්‍රථිපලය තමයි ඒ අමාත්‍යංශ වලට එන ඇමතිවරයාගේ ඔලුවේ තියෙන හිතලුව හා තමන්ගේ දේශාපාලනය ක්‍රියාත්මක කර ගැනීම වෙනුවෙන් මේවා ක්‍රියාත්මක කරනවා.පොස්පේට් ආයතනය, පුල්මුඩේ ඛණිජ වැලි නිධිය, ඒ වගේම රට තුළ කුඩා කර්මාන්ත විශාල ප්‍රමාණයක් රටට ඩොලර් ගේන්න පුලුවන් ආයතන තියෙනවා.අගය එකතු කරලා තව තවත් විදේශ විනිමය ගේන්න පුලුවන් ඒ හරහා.අපේ රටේ ඩොලර් හිඟයට යම් ප්‍රමාණයක උත්තරයක් මේවා හරහා ගන්න පුලුවන්කම තියෙනවා.රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි නිෂ්පාදන කෘෂි ආර්ථිකය බිඳ වැටීම 1948 මේ පාලකයෝ බලයට එන විට, අපේ රටේ නිෂ්පාදන කෘෂි ආර්ථිකයට ලබා දුන් දායකත්වය 48% යි, දැන් එය 8% ට බිඳ වට්ටලා තියෙනවා හිටපු පාලකයෝ.මේ පාලකයෝ, ඇමතිවරු කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නෙමෙයි මේ තීන්දු තීරණ ගන්නේ, කෘෂිකර්මාන්තය තවත් වල පල්ලට යවලා, ගොවියා ගොවි බිමෙන් අයින් කරලා ඔය කියන සමාගම් වල කුලී වැඩ කරන වහල් සේවකයෝ බවට පත් කරන වැඩපිළිවෙලක මේ ඉන්නේ,කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමේ පැත්තෙන් හිතුවොත් එහෙම අපනයන භෝග වගාවත් දැන් යම් ප්‍රමාණයකට කඩා වැටිලා තියෙන්නේ, අපනයන භෝග හරහා අපේ රටේ භාණ්ඩාගාරයට ඉතිහාසයේ විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙන ආවා,හැබැයි මෑත කාළය වන විට අපනයන භෝග වගාව පහත වැටිලා භාණ්ඩාගාරයට එන විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා.එප්පාවල රොක් පොස්පේට් එකෙන් දිගුකාලීන භෝග වලට පහසුවෙන් පොහොර දෙන්න පුලුවන් නම් , අපට අපනයන භෝග වගාව ශක්තිමත් කරලා භාණ්ඩාගාරයට ඩොලර් එන පාර තව විවෘත කරන්න පුලුවන්.පර්යේෂණ කරලා අපේ කෙටි කාළීන භෝග වලට , රොක්පොස්පේට් වලට අගය එකතු කරලා පොහොර ටික දෙන්න පුලුවන්කම තියෙනවා නම්,එකට කර්මාන්ත ශාලාවක් එකතු කරලා ඒ පහසුකම් දෙනවා නම් අපේ රටේ වී වගාවත්, එළවලු -පළතුරු වගාවත්, දිගු කාලීන භෝග වගාවත් සශ්‍රීක මට්ටමට ගෙනැවිත් මේ නිෂ්පාදන කෘෂිආර්ථිකය ඉහලට ඔසවන්න පුලුවන්, හැබැයි මේ පාලකයොන්ට එහෙම දැක්මක් නෑ.මේ පාලකයෝ හැමදාමත් මේ ආයතන ටික විනාශ කරමින්, දවසින් දවසට වලපල්ලට යවමින්, වෙන්දේසී කරමින්, මේ රටේ ජනතාවගේ ජීවිත බිල්ලට දෙමින් තිබෙනවා.අපේ රටේ ආහාර සුරක්ෂිතතාව, කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගැන හිතන්නේ නැතිව මේ කෘෂිආර්ථිකය වලපල්ලට යවලා ගොවියා හෙම්බත් කරලා තියෙනවා.

මේ ආණ්ඩුවේ ඉන්න පාලකයොත් එක්ක ඉහළම ඉන්න නිළධාරී වලල්ලක් ඉන්නවා, මේවාට උදව් කරන, උඩගෙඩි දෙන, මේ අණ-පනත්, පිඹුරුපත් හදලා දෙන, පහළ නිළධාරී එක්ක අපිට ගැටලුවක් නෑ, ආණ්ඩු මාරු වෙන කොට ජනාධිපතිවරයා මාරු වෙන කොට, ඒකේ අමාත්‍යංශ ලේකම්කම බලාගෙන, තවත් වරප්‍රසාද බලාගෙන ඔය ඉහළම නිළධාරී කේවට්ටයෝ ටිකක් ඉන්නවා.ඒ අය තමයි හැම ඇමතිවරයකුටම අපේ රටේ සම්පත් විකුණන්න, රට විනාශ කරන්න, බංකොලොත් කරන්න මේ උඩගෙඩි දෙන්නේ.ඒ නිළධාරී පැලැන්තියටත් අත්වෙන ඉරණම වෙන මොකක්වත් නෙමෙයි ඉතිහාසයේ දේශපාලඥයාට අත්වෙච්ච ඉරණම තමයි ඔය මේ හැම වැඩකටම උදව් කරන ඉහළම ඉන්න නිළධාරී වලල්ලට අත්වෙන්නේ අනාගතයේදී, මේ රටේ ජනතාව ඒ නිළධාරී වලල්ලටත්, එ පැළැන්තියටත් ඒ ඉරණම අත්කර දෙන්න සූදානමින් ඉන්නවා යැයි පැවසීය.

ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික පුල්එළියේ ගුණරතන හිමියන්,
අපේ රටේ ස්වාභාවික සම්පතක් වන එප්පාවල පොස්පේට් රාජ්‍යය සමාගම මේ වන විට පුද්ගලික ආයතන 03 කට, විකිනීම සඳහා පිඹුරුපත් සකස් කර අවසන් කර තිබෙන අවස්ථාවකයි අපි මේ මාධ්‍ය සාකච්ජාව කැඳවන්නේ. මීට වසර ගණනාවකට ඉහතදී අපේ රටේ හිටපු රාජ්‍යය නායිකාව හැටියට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇමරිකාවේ මැක්මෝරා සමාගමට පොස්පේට් ආයතනය විකුණන්න සූදානම් වූ අවස්ථාවේ එප්පාවල ප්‍රදේශයේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, එප්පාවල ප්‍රදේශයේ ආදරණීය ජනතාව, මේ පොස්පේට් රාජ්‍යය සමාගම, මේ ජාතික සම්පත, බේරා ගැනීම හා ආරක්ෂා කර ගැනීම සඳහා දිවි හිමියෙන් කැපවීම් කරා.ඒ මගින් පොස්පේට් නිධිය ආරක්ෂා කර ගන්න හැකි වුණා.වර්ථමාන‌යේදී රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපේ රටේ සම්පත් විකුණමින්,මේවා කාබාසීනියා කරමින් තමන්ගේ ජීවිකාව සකස් කර ගනිමින් සිටිනවා.අපි දැක්කා පහුගිය දවසක චාමර සම්පත් දසනායක ඇමතිවරයා එප්පාවල පොස්පේට් සමාගමට ඇවිල්ලා මහා නාටකයක් ඉදිරිපත් කළා.එහිදී අපිට පෙනී ගිය කාරණය තමයි මේ යම්කිසි හේතුවක් පදනම් කර ගෙන, තමන්ට මොනවා හරි ලබා ගැනීම වෙනුවෙන් මේ වගේ රංගනයක් රඟදක්වන්නේ කියලා අපිට දැනුනා.ඔහු සමාජයට පෙන්වන්න හදනවා මේ පොස්පේට් රාජ්‍යය සමාගම, පුද්ගලික ආයතන වලට විකුණන්නේ මේ ආයතනයේ ඉන්න නිළධාරීන්ගේ දූෂිතකම නිසා කියලා.හැබැයි අපි කියනවා චාමර සම්පත් ඇමතිවරයාටත්, රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට අපි කියනවා මේ ආයතන වල නිළධාරීන් දූෂිතයි නම් ඒ ආයතන පුද්ගලිකකරණය කිරීමවත්, විකිණීමවත් නෙමෙයි කළ යුත්තේ, මේකට විසඳුම වෙන්නේ රාජ්‍යය නිළධාරීන් දූෂිතයි නම් සේවකයෝ දූෂිතයි නම්, හොරුනම්, මංකොල්ලකාරයෝ නම් ඒ අය ඉවත් කරලා, මේ රටට ආදරය කරන, සමාගම් දියුණු කරන්න පුලුවන් මේවා ආරක්ෂා කරන නිළධාරීන් පත් කරන්න.ඒ වගේම අපි දැක්කා එදා චාමර සම්පත් ඇමතිවරයා කියනවා කවුද යකෝ ලංකාවේ අහුවෙන්න හොරකම් කරන්‌නේ කියලා.ඒ ඔහු කියන්නේ මොකක්ද? ඔහු මේ හොරකම් කරපු සම්පත් හොරකම් කරලා තියෙන්‌නේ කිසි කෙනෙකුට නොදැනෙන්න කියලයි ඔහු ප්‍රකාශ කරන්නේ.අද වන විට ලංකාවේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා, කෘෂිකර්මාන්තය පොහොර ටික නැතිව තිබෙන කාළයක, අපේ රටේ ඇමතිවරු ,පොස්පේට් නිධිය විකුණන්න උත්සහ කරනවා.එප්පාවල පොස්පේට් නිධිය කියන්නේ ලෝක‌යේ අධි ශ්‍රේණියේ පොස්පේට් තියෙන ආයතනයක්, මේ පොස්පේට් ඇයි අපේ රටට යොදන්න බැරි, අපි දන්නවා මීට වසර ගණනාවකට ඉහතදී මෙහි විෂය භාර ඇමතිවරයා ලෙස හිටිය කුමාර වෙල්ගම කර්මාන්ත ශාලාවක් අරන් ගියා කළුතර දිස්ත්‍රික්කයට, මෙහෙන් පොස්පේට් හාරලා, කළුතර අරන් ගිහින් එහෙ කළවම් කළා.අපි දැක්කා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ ජාලිය කුළසේකර පොස්පේට් ආයතනයේ සභාපති ලෙස ඉදගෙන, කුරුණැගල, කනත්තවත්ත ප්‍රදේශයේ පන්සලක ඉඩමක් කුළියට අරගෙන පොස්පේට් කළවම් කරන්න එහෙට අරන් ගියා. පොස්පේට් එක වටේට ඔ්නෑතරම් රජය සතු ඉඩම් තියෙනවා.නමුත් ඒ අයගේ වුවමනාවන් මත පොස්පේට් ආයතනය විවිධ තැන් වලට අරගෙන ගියපු අවස්ථාවන් අපි ඔ්නතරම් දැකලා තියෙනවා.රනිල් වික්‍රමසිංහට කිසි ප්‍රශ්නයක් නෑ රටේ සම්පත් වික්කා කියලා, ඔහුට දෙන්න පරම්පරාවක් නෑ, මේ ගම්වල ජීවත් වන අම්මා -තාත්තාට පරම්පරාවක් තියෙනවා.ඒ දරුවෝ වෙනුවෙන් මේ සම්පත් ආරක්ෂා කර ගන්න ඔ්න.චාමර සම්පත් දසනායකලා හොරකම් කරන්නේ අනෙක් අයට දැනගන්න නෙමෙයි, ඒ නිසා හොරකම් කරපු සල්ලි චාමර සම්පත් දසනායකලාට තියෙද්දී ඒ අයට මේවා විකුණන එක ප්‍රශ්නයක් නෑ,මේවා විකුණන එක ප්‍රශ්නයක් තියෙන්නේ ගොවි අම්මා තාත්තාට හා ඔවුන්ගේ දරුවන්ට.මේ රටේ ජාතික සම්පත් විකුණන එක වහාම නවත්වන්න.ඔබට මේවායේ වටිනාකමක් නැති වුණාට රටේ ජනතාවට මේවායේ වටිනාකමක් තියෙනවා යැයි පැවසූහ.

මහවැලි එච් කළාප‌යේ, එප්පාවල කොට්ඨාශයේ සොහොයුරෝ ගොවි සංවිධානයේ සභාපති බන්දුල පියරත්න මහතා,
බරපතල කම්පනයක්. වේදනාවක් හිතේ දරාගෙන මම මේ මාධ්‍ය සාකච්ජාවට සහභාගී වෙන්නේ.පාලකයන්ගේ පැවැත්ම වෙනුවෙන් පොස්පේට් නිධිය සමාගම් වලට විකිණීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා.ඉතිහාසයේ මේ සම්පත රැකගන්න ගෞරවනීය මහා සංඝරත්නය හා ප්‍රදේශවාසීන් මැදිහත් වුණා.වර්ථමානයේ මේ වටිනා සම්පත විකුණන්න උත්සහ කරනවා.ඒ නිසා මෙය පරාජය කිරීමට අපි පාරට බහින්න ඔ්න.ආණ්ඩුවට අපි කියන්නේ උඹලට තියෙන්නේ මේ පොස්පේට් නිධිය විකුණන එක නෙමෙයි, පොස්පේට් නිධිය පාවිච්චි කරලා රට ගොඩනගන්න මේ පොස්පේට් නිධිය පාවිච්චි කරන්න කියලා.පොස්පේට් ආයතනය භාර ඇමතිවරයා වෙච්ච චාමර සම්පත්ට අපි කියන්නේ, ඔයා පොස්පේට් එකට ඇවිල්ලා ජෝගී නැටුවට කමක් නෑ, ලස්සන ෂෝ ගැහුවට කමක් නෑ හැබැයි මේකට අතතියන්න ලෑස්ති වෙන්න එපා.එප්පාවල මිනිස්සුන්ගේ හැටි දැනගන්න පුලුවන් මේකට අත තියලා මේක විනාශ කරන්න හැදුවොත් අපි එප්පාවල මිනිස්සු හැටියට සටනට මැදිහත් වෙනවා යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *