එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සේවා සම්පාදකයෙකුගේ ඊමේල් ගිණුමක් හැක් කිරීම නිසා සිදුවූ වංචනික ගනුදෙනුවක් සහ ඉන්දියාවේ චෙන්නායි කාර්යාලය තුළ සිදුවූ රුපියල් මිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිල පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. මෙම සිදුවීම් ද්විත්වය නිසා වූ අලාභය පියවා ගැනීමට අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගන්නා බව ද ගුවන් සේවය පවසයි.
පළමු සිදුවීම ලෙස, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සේවා සම්පාදකයෙකු විසින් තමන් වෙත ලැබිය යුතුව තිබූ ඩිරාම් 974,000ක (UAE Dirham) මුදලක් මෙතෙක් ලැබී නොමැති බව ශ්‍රීලංකන් ගුවන් සේවයට දැනුම් දී ඇත. ඒ පිළිබඳව කළ සොයාබැලීම්වලදී හෙළිව ඇත්තේ, කිසියම් බාහිර තුන්වන පාර්ශ්වයක හැකර්වරුන් පිරිසක් සැපයුම්කරුගේ ඊමේල් ගිණුමට අනවසරයෙන් ඇතුළු වී, එහි බැංකු ගිණුම් තොරතුරු වෙනස් කර, ව්‍යාජ ලිඛිත සාක්ෂි හා අත්සන් නිල සන්නිවේදන නාලිකා ඔස්සේ එවා ඇති බවයි. තමන් සැබෑ සැපයුම්කරු සමඟ ගනුදෙනු කරන බව හැඟවීමට හැකර්වරුන් කළ මෙම උපක්‍රමයට ශ්‍රීලංකන් ගුවන් සේවය නොමඟ ගොස් තිබේ. මෙම වංචාව හසුවීමත් සමඟ වැඩිදුර ගෙවීම් වහාම අත්හිටුවීමට පියවර ගත් ගුවන් සේවය, මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සහ සන්ධානගත බලධාරීන්ට පැමිණිලි කර ඇත. මෙම තත්ත්වය සේවා සම්පාදකයාගේ පද්ධතියේ අනාරක්ෂිත බව නිසා සිදුවූවක් බැවින්, මුදල් අහිමි වීමේ වගකීම භාරගැනීම ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කර තිබේ.
දෙවැනි සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්යාලයෙනි. එහි මූල්‍ය අංශයේ සේවය කළ ඉන්දීය ජාතික සේවකයන් කිහිප දෙනෙකු විසින් කලක් තිස්සේ ඉන්වොයිසි, ගෙවීම් තොරතුරු සහ අත්සන් වංචනික ලෙස වෙනස් කරමින් ඉන්දියානු රුපියල් මිලියන 22ක මුදලක් අවභාවිතා කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ. ලංකාවේ ප්‍රධාන කාර්යාලයේ මූල්‍ය අංශයට මෙම අසාමාන්‍ය ගෙවීම් නිරීක්ෂණය වී අභ්‍යන්තර පරීක්ෂණ ඇරඹීමත් සමඟ, අදාළ චෝදනා ලැබූ ඉන්දීය සේවකයන් සේවයට වාර්තා කිරීම මඟහැර පලාගොස් ඇත. මේ සම්බන්ධයෙන් ද ඉන්දීය බලධාරීන් වෙත නිල වශයෙන් පැමිණිලි කර ඇති අතර පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
















