27 April 2024
#දේශීය

eRoC ක්‍රමවේදය ආර්ථිකයේ අනාගතය වෙනුවෙන් තැබූ විශාල ඉදිරි පියවරක් – කර්මාන්ත ඇමති

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මහජනතාවට පිරිනමන eRoC ක්‍රමවේදය හදුන්වා දිම අනාගතය වෙනුවෙන් තැබු විශාල පියවරක් බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහජනතාවට පිරිනමන eRoC ක්‍රමවේදය පසුගිය 25 වනදා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේදී නිලවශයෙන් ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම eRoC (e Registrar of Companies) වෙබ් පාදක යෙදුම් මෘදුකාංගය හරහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් කඩදාසි රහිතව තාක්ෂණය උපයෝගී කොට ගනිමින්, මහජනතාවට පිරිනමනු ලබන අතර, දිනයේ පැය 24 පුරාම ඕනෑම තැනක සිට එම සේවාවන් ලබාගත හැකිවෙයි.

මෙම මෘදුකාංගය KPMG ආයතනය හා එක්ව ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කල එකකි.

සේවා මට්ටම ගෝලීය ප්‍රමිතියට වැඩිදියුණු කිරීම, පිරිනමන සේවා ප්‍රමාදයන් අවම කිරීම, ව්‍යාපාර කිරීමේ පහසුව වෙනුවෙන් දර්ශක වැඩිදියුණු කිරීම ආදි අරමුණු රැසක් මෙම ක්‍රමවේදය හරහා සාක්ෂාත් වෙයි.

සම්පූර්ණ කඩදාසි රහිත සංකල්පය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රජයේ ආයතනයකට ගෙන එමින් ක්‍රියාත්මක මෙම ක්‍රමවේදය මගින් වඩාත් නිරවද්‍යතාවයෙන් යුතුව , වංචා සහ අකාර්යක්ෂමතා අවම කරමින්, පොරොත්තු පෝලිම් නැතිව , ආරක්ෂිත මාර්ගගත ගෙවීම් ,වේගවත් ප්‍රතිචාර, අනුමැතිය සහ ලියාපදිංචි කිරීම් සහිතව , විනිවිදභාවය සහ දත්ත මාර්ගගතව ලබා ගනිමින් , අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ සමාගම් තත්ව තොරතුරු වෙත සෘජු ප්‍රවේශයන් ලබාදෙමින්, සමාගමක් ස්ථාපිත කොට එය ලෝකයේ ඕනෑම තැනක සිට පවත්වාගෙන යාමේ පහසුව සලසාදීම ඇතුළු කාර්යන් රැසක් ජනතාවට උදාකොට දෙයි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , සමාගම් නීතිය පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන , සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් සංජීව දිසානායක , සමාගම් රෙජිස්ට්‍රාර් සුනේත්‍රා ධර්මකීර්ති , සමාගම් රෙජිස්ට්‍රාර් ශ්‍යාමා හර්ෂනී ,නියෝජ්‍ය සමාගම් රෙජිස්ට්‍රාර් තරංග පණ්ඩිත සුන්දර , KPMG ව්‍යාපෘති කළමනාකාර ගනේෂ් විජේනායක ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *