ඉතියෝපියාව හරහා රහසිගතව කැනඩාව බලා යාම සඳහා මෙරටින් පිටත්ව ගිය යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු ඉතියෝපියාවේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රාණ ඇපයට ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනා නිදහස් කිරීම සඳහා එක් අයෙකු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 30,000 බැගින් (සමස්තය ඩොලර් 90,000ක්) කප්පම් මුදල් ඉල්ලා ඇති බව පොලීසිය පවසයි. තමන් වහලුන් මෙන් විවිධ දරුණු වද හිංසාවලට ලක්වෙමින් සිටින බව පවසමින් එම වින්දිතයන් විසින් සිය ඥාතීන් වෙත එවන ලද දුරකථන සහ වීඩියෝ දර්ශන පණිවුඩ ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) තැනැත්තන් වෙළඳාම සහ ජාවාරම් විමර්ශන ඒකකය 2 හි නිලධාරීන් කණ්ඩායමක්, මෙම පිරිස වංචනික ලෙස විදේශගත කිරීමට කටයුතු කළ ප්‍රධාන සැකකරු යාපනය, චුන්නාගම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. CID නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
















