මෙරට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් අවදානම් සහගත ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 35,300කට ආසන්න සංඛ්‍යාවක් සහ ඩෙංගු මරණ 20ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේය.
කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවයි.
දැනට පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක වී තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 14ක් කේන්ද්‍ර කර ගනිමින්, අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කොට්ඨාස 72ක් ආවරණය වන පරිදි අනිද්දා (ජූනි 08) සිට දින 3ක විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















