සිය ධූර කාලය අවසන් කර දිවයිනෙන් නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්මන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය, අගෝස්තු 20 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී තිබේ.
තානාපතිනිය සාදරයෙන් පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග හමුවේ සහ විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවලින් පසු සිදුකළ ප්‍රතිසාධන කටයුතුවලදී යුරෝපා සංගමය ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළාය. විවිධ අභියෝග මැද වුවද ආර්ථික වර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක රජය අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව තානාපතිනිය මෙහිදී සිය ප්‍රසාදය පළ කළ අතර, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් පුළුල් සංවාදයක වැදගත්කමද පෙන්වා දුන්නාය.
යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණු අතර, මෙම හමුව සඳහා යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ගාලියා අගිෂේවා මහත්මිය සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.














