රතුගල ආදිවාසී නායකත්වයේ හදිසි වෙනසක් සිදුව ඇති බවත්, මාස තුනක් වැනි කෙටි කාලයක් එම ධුරය හෙබවූ නිශාන්ත කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් අනාවරණය කර තිබේ.
බදුල්ල, දඹාන ප්‍රදේශයේ පැවැති ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවයට පෙර දින රැස්වූ සාම්ප්‍රදායික ‘වරිගේ සභාවේදී’ නිශාන්ත කුමාර මහතා සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇත. තමන් මුහුණ දී සිටින පෞද්ගලික සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පවසා තිබුණද, ඔහු සංචාරක හෝටලයක සේවය කිරීම, ආදිවාසී ජනතාව සංචාරක ආකර්ෂණය සඳහා යොදාගැනීම සහ ඔහුගේ ඇඳුම් පැළඳුම් හා චර්යාවන් සම්ප්‍රදායන්ට පටහැනි බවට ප්‍රජාව අතරින් දැඩි විරෝධයක් මතුවී තිබූ බව වන්නියලැ ඇත්තෝ සඳහන් කළහ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අභාවප්‍රාප්ත සුදු වන්නියලැ ඇත්තන්ගේ සහෝදරයෙකු වන දානිගල මහ බණ්ඩාරලාගේ කිරි බණ්ඩා ඇත්තන් රතුගල නව ආදිවාසී නායකයා ලෙස පත් කිරීමට වරිගේ සභාව තීරණය කර ඇත. ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතාද දඹානේ පැවැති උත්සවයේදී අවධාරණය කළේ ආදිවාසීන්ගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය රැකගැනීම සඳහා රජය උපරිම සහයෝගය ලබාදිය යුතු බවයි.














