යුරෝපා කොමිසම විසින් ඉදිරිපත් කරන ලද යුරෝ ට්‍රිලියන 2ක අයවැය යෝජනාව තවත් 10% කින් ඉහළ නැංවීමට යුරෝපා පාර්ලිමේන්තුවේ අයවැය කමිටුව තීරණය කර තිබේ. 2028-2034 කාලසීමාව සඳහා වන මෙම බහු වාර්ෂික මූල්‍ය රාමුව තුළ ප්‍රධාන ප්‍රමුඛතා තුනක් යටතේ අරමුදල් බෙදා හැරීමට MEP වරුන් යෝජනා කර ඇත.
ඒ අනුව, යුරෝපයේ ගෝලීය ආර්ථික ශක්තිය ඉහළ නැංවීමේ ‘තරගකාරීත්ව අරමුදල’ (Competitiveness Fund), නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා වන ‘හොරයිසන්’ (Horizon) අරමුදල සහ මානුෂීය ආධාර මෙන්ම ආරක්ෂක කටයුතු ඇතුළත් ‘ග්ලෝබල් යුරෝප්’ (Global Europe) වැඩසටහන සඳහා මෙම අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය. එසේම කොවිඩ්-19 වසංගතයෙන් පසු ආර්ථිකය ගොඩනැගීමට ලබාගත් ණය (Next Generation EU) පියවීම සඳහා වන මුදල් අයවැය සීමාවෙන් පරිබාහිරව තබා ගැනීමට ද පාර්ලිමේන්තුව මෙහිදී යෝජනා කර තිබේ.














