යුරෝපා සංගම් වෙළඳපොළ තුළ විදේශීය තරඟකාරිත්වයට මුහුණ දීම සඳහා හඳුන්වා දීමට නියමිත ‘Made in Europe’ නීතිය, යුරෝපයට භූගෝලීය වශයෙන් සමීප රටවලට පමණක් සීමා විය යුතු බව යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ මන්ත්‍රීවරයෙකු වන ක්‍රිස්ටෝෆ් ගෘඩ්ලර් (Christophe Grudler) පවසයි.
යුරෝපා කොමිසම විසින් යෝජනා කර ඇති මෙම නීතිය මගින් පිරිසිදු බලශක්ති තාක්ෂණය (Clean Tech), මෝටර් රථ සහ වානේ වැනි උපායමාර්ගික ක්ෂේත්‍රවල රජයේ මිලදී ගැනීම්වලදී යුරෝපීය නිෂ්පාදනවලට ප්‍රමුඛතාවය දීමට බලාපොරොත්තු වේ. එහෙත් යුරෝපා කොමිසම මෙම වරප්‍රසාදය යුරෝපා සංගමයෙන් පිටත බොහෝ රටවලට ලබා දීමට යෝජනා කර ඇති අතර, ගෘඩ්ලර් මහතා පවසන්නේ එය ඉතා සීමිත රටවල් කිහිපයකට පමණක් සීමා කළ යුතු බවයි.
මෙම “Industrial Accelerator Act” පනත සම්බන්ධයෙන් යුරෝපා රටවල් අතර දැඩි මතභේදයක් පවතී. ජර්මනිය සහ නෝර්ඩික් රටවල් පවසන්නේ අදහස්වලින් සමාන (Like-minded) සියලු හවුල්කාර රටවල් මෙයට ඇතුළත් කර ගත යුතු බවයි. එහෙත් ප්‍රංශය ප්‍රමුඛ කණ්ඩායම පවසන්නේ වඩාත් පටු සහ දැඩි ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවයි. “ඇමෙරිකානුවන් ඔවුන්ගේ නිෂ්පාදනවලට ප්‍රමුඛතාවය දීමේදී යුරෝපය ගැන සිතුවේ නැහැ, අපත් දැන් බොළඳ වීම නතර කළ යුතුයි” යනුවෙන් ගෘඩ්ලර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














