බෂාර් අල්-අසාද්ගේ පාලනය බිඳවැටීමෙන් පසු සිරියාවේ සිවිල් යුද්ධය අවසන් වී ඇති බව පවසමින් යුරෝපා රටවල් සිරියානු ජාතිකයන්ට ලබාදෙන දේශපාලන රැකවරණ (Asylum) ප්‍රතික්ෂේප කිරීමේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. විශේෂයෙන්ම සිරියාව තුළ පවතින අස්ථාවරත්වය මධ්‍යයේ හිංසනයට ලක්වන අලවයිට් (Alawite), ඩ්රූස් (Druze) සහ කුර්දි (Kurd) වැනි සුළුතර ප්‍රජාවන්ගේ අයදුම්පත් පවා මෙලෙස ප්‍රතික්ෂේප වෙමින් පවතී.
සිරියාවේ වසර 14ක සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ සිරියානුවන් සඳහා තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය නොවන බව යුරෝපා රජයන්ගේ මතය වී තිබේ. මේ හේතුවෙන් ඇම්ස්ටර්ඩෑම් වැනි නගරවලට පැමිණෙන සිරියානු සරණාගතයන්ගේ අයදුම්පත් සති කිහිපයක් ඇතුළත ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
අසාද් පාලනය බිඳවැටීමෙන් පසු එරට බලයට පත් වූ අහමඩ් අල්-ෂාරා (Ahmed al-Sharaa) සුළුතර ප්‍රජාවන් ආරක්ෂා කරන බවට පොරොන්දු වුවද, ප්‍රායෝගිකව අලවයිට් වැනි ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මාරාන්තික ප්‍රහාර සහ කොල්ලකෑම් සිදුවන බව වාර්තා වේ. එසේ වුවද, යුරෝපා බලධාරීන් පවසන්නේ මෙම පුද්ගලයන්ට පෞද්ගලිකව එල්ල වන තර්ජනයක් තහවුරු කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවයි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ සිරියාව තවමත් අතිශය අන්තරායකර සහ අස්ථාවර මට්ටමක පවතින බවයි. මෙවැනි වකවානුවක රැකවරණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම නොමේරූ තීරණයක් බව ඔවුන් පවසති. මෙම තත්ත්වය නිසා දහස් සංඛ්‍යාත සිරියානුවන් යුරෝපය තුළ අනවසර සංක්‍රමණිකයන් බවට පත්වීමේ හෝ බලහත්කාරයෙන් ආපසු හරවා යැවීමේ අවදානමකට මුහුණ දී සිටිති.
වර්තමාන ඉරාන යුද්ධය හේතුවෙන් කලාපීය ආරක්ෂාව තවදුරටත් සංකීර්ණ වී ඇති පසුබිමක, සිරියානු සරණාගතයන්ගේ මෙම අර්බුදය යුරෝපය තුළ දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවකි.














