යුරෝපය පුරා ලැව්ගිනි පවතින කාලසීමාවන් දීර්ඝ වීම සහ ලැව්ගිනිවල සැරපරූෂ බව ඉහළ යාම හමුවේ, ඒවා පාලනය කිරීම සඳහා භාවිත කරන ගුවන් යානා (Waterbombers) සහ පළපුරුදු නියමුවන්ගේ දැඩි හිඟයක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපයේ විශාලතම ගුවන් හදිසි සේවා සමාගම වන ‘Avincis’ හි ප්‍රධාන විධායක නිලධාරී ජෝන් බෝයි (John Boag) පෙන්වා දෙන්නේ, පෙර වසරවලට සාපේක්ෂව වර්තමානයේ වසරේ වැඩි කාලයක් ගුවන් මගින් ගිනි නිවීමේ මෙහෙයුම් සිදුකිරීමට සිදුව ඇති බවයි.
ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක්ම මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ හටගත් දරුණු ලැව්ගිනි මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වෙයි. පසුගිය වසරට සාපේක්ෂව මෙවර ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා ගත කර ඇති පියාසර පැය ගණන දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ.
කෙසේවෙතත්, විදේශයන්ගෙන් සහ හමුදා අංශවලින් පැමිණෙන පළපුරුදු නියමුවන් බඳවා ගැනීමේදී යුරෝපයේ පවතින දැඩි නීතිරීති සහ රාජ්‍යතාන්ත්‍රික බාධා හේතුවෙන් නියමුවන් සොයාගැනීම අභියෝගයක් වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.
ගෝලීය කාලගුණ විපර්යාස හමුවේ ලැව්ගිනි අවදානම වසර පුරාම පැවතිය හැකි බැවින්, රටවල ආණ්ඩුවලට වසරේ මාස 12 පුරාම පවතින පරිදි මෙවැනි ගුවන් යානා සංචිත නඩත්තු කිරීමට සිදුවනු ඇති බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මත පළ කරති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













